Spread the love


ඉදිරි වසර කිහිපය තුළ කොළඹ ගම්පහ ජනතාවට ජානීය ජලය සදහා හා වෙනත් අවශ්‍යතා වලට යොදා ගතහැකි අයුරින් බිලියන ගණනක් වුවද වැයකර කැළණි ගඟ සංරක්ෂණය කිරීමට රජය සුදානම් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
මන්ද මේ රටේ තිබෙන ගංඟා103න් දූෂිතම ගංඟා ව වන්නේ කැලණි ගඟයි.කොළඹ ගම්පහ ජනතාවට පානීය ජලය සදහා යොදා ගන්නේද කැළණි ගඟ බවද ඇමතිවරයා අවධාරණ කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සුරකිමු ගංගා වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද සූම් සාකච්ඡාවට සහභාගිවෙමිනි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.
කැළණි ගඟ අපවිත්‍ර වන ස්ථාන 1400ක් පමණ දැනට හඳුනාගෙන තිබේ. ඒ අතරින් ප්‍රධාන වන්නේ සීතාවක ගඟේ සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශයයි. මේ නිසා සීතාවක සිට
පෑලියගොඩ දක්වා සුවිශේෂි සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.
එමෙන්ම සෑම මසකම කැළණි ගඟ දූෂණයට ලක් කෙරෙන සුවිශේෂි ස්ථාන 40ක් නිරීක්ෂණය කිරීමට හා එම ස්ථාන සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ද සැලසුම් කර
තිබේ. එමෙන්ම ගඟට ජලය ගලා එන අතු ගංගා 07ක් ආශ්‍රිතව ගඟට ගලා එන පොලිතීන් හා ප්ලාස්ටික් වැළැක්වීම සඳහා බාධක යෙදීමට කටයුතු යොදා තිබේ.
කැළණි ගඟ ආශ්‍රිතව සංරක්ෂණ කලාපයෙන් බැහැරව ජීවත්වෙන වැසිකිළි පහසුකම් නැති ජනතාවට ස්ථිර වැසිකිළි ඉදිකිරීම සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 19ක
මුදලක් ද වෙන් කර ඇති බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
එමෙන්ම වහාම කැළණි ගඟට අයත් රක්ෂිතය මැණ සළකුණු කිරීම කඩිනම් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම කැළණි ගඟේ ජලයෙහි ගුණාත්මකභාවය මැණීමේ පරීක්ෂණ Measuring Water Quantity Project වහාම ආරම්භ කරන ලෙසත් ඒ සම්බන්ධ වාර්තාවන් ලබා දීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඉටු කිරීමට ද නියමිතය.
මෙම වසර තුළ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් සීතාවක වක්ඔය ගම්පහ පහුරුඔය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම ගංඟා දෙකම කැලණි ගඟට ජලය ගෙන එන ප්‍රධාන අතු ඔයවල් දෙකකි. ඒ අනුව සීතාවක වක්ඔය සඳහා රුපියල් 52ලක්ෂයක් හා පහුරු ඔය සඳහා රුපියල් 87 ලක්ෂයක් ද මේ වසර සඳහා වෙන් කර තිබේ. මේ හැර කැළණි ගඟට ජලය ගලා එන පූගොඩ ඇල සංවර්ධනය සඳහා රුපියල් 26 ලක්ෂයක් වෙන් කර තිබේ.
කැලණි ගඟ රක්ෂිතය සළකුණු කිරීමෙන් අනතුරුව එම රක්ෂිතය තුළ පදිංචිව සිටින්නන් ඉවත් කිරීමටත් එම කටයුතු ඔවුන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් තැනීමෙන් අනතුරුව ඔවුන් ඉවත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.
සුරකිමු ගංඟා වැඩ සටහන ඉදිරි වසර කිහිපය තුළ ද ක්‍රියාත්මක වන නිසා කැළණි ගඟ සංරක්ෂණය සඳහා තවත් ව්‍යාපෘති ඉදිරිපත් කරන්නැයි ද මහින්ද අමරවීර මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.මෙම සාකච්ඡාවට දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරු සහභාගි වීම ද සුවිශේෂත්වයකි.