Spread the love

පරිසර දශකයට සුරකිමු ගංගා වැඩ සටහන හොඳ අත්වැලක්..

එක්සත් ජාතින්ගේ සංවිධානය මෙම දශකය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකය ලෙස නම් කර තිබෙන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
විශේෂයෙන් ලෝක ව්‍යාප්තව පවතින පරිසර පද්ධති ආරක්ෂා කිරීම, විනාශ කිරීම නැවැත්වීම, හා නැවත ප්‍රතිස්ථාපනය කිරීම එහි අරමුණයි.
එමනිසා අප අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද සුරකිමු ගංගා වැඩ සටහන මගින් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් දී ඇති ඉළක්ක හා නිර්දේශ අපිට ඉදිරියට ගෙන
යාමට හැකි යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) පරිසර අමාත්‍යාංශයේ පැවැති සූම් සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
පරිසර අමාත්‍යාංශය සංවේදී පරිසර කළාප හඳුනාගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. දැනටමත් එවැනි සංවේදී පරිසර කළාප කිහිපයක් අප නම් කර තිබෙනවා. මානෑව, ගඟේවාඩිය, එළුවන්කුලම හා ගල්නෑව එම සංවේදී පරිසර කළාප හඳුනාගත් ප්‍රදේශයි.
එමෙන්ම සුරකිමු ගංගා වැඩ සටහන යටතේ මැණීක් ගඟ සංරක්ෂණය මගින් එම ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා වෙනවා. එමෙන්ම කැළණි ගඟ සීතාවක සිට
පෑලියගොඩ දක්වා ප්‍රදේශය විශේෂ පරිසර සංරක්ෂණ කලාපයක් වශයෙන් නම් කර එම කළාපය සංවර්ධනය කිරීමට පියවර ගන්නවා.
වත්මන් රජය ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ පරිසර සංරක්ෂණයට විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානය 2021 වසර අවසන් වනවිට ගෝලීය උණුසුම ඉහළ යාම සියයට 02කට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකාව කියන්නේ විශාල කර්මාන්ත ශාලා ස්ථාපිත කර ඇති රටක් නොවෙයි. එම නිසා අපේ රටෙන් වායු ගෝලයට හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනයක්
සිදුවන්නේ නැහැ. නමුත් අපි ජාත්‍යන්තර වැඩ පිළිවෙළට සහයෝගය දක්වමින් කටයුතු කිරීමට ගෙන ඇති තීරණයන් අගය කළ යුතුයි.

එමනිසා කුඩා රටක් වුවත් අපි එක්සත් ජාතින්ගේ සංවිධානය ක්‍රියාත්මක කර තිබෙන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ පිළිවෙළට සුරකිමු ගංගා වැඩ
සටහන යටතේ මෙන්ම සංවේදී පරිසර පද්ධති හඳුනාගැනීමේ වැඩ පිළිවෙළ යටතේත් විශාල දායකත්වයක් අපි ලබා දෙනවා. එමනිසා සුරකිමු ගංගා වැඩ සටහන යටතේ
ගංගා 103 ම සංරක්ෂණය කෙරෙන බැවින් අපේ සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා කිරීමට අවස්ථාව ලැබෙන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.