Spread the love

ලෝක සංචාරක දිනය හෙටට (27) යෙදී ඇති නමුත් අප සමරනු ලබන්නේ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය බිඳ වැටී ඇති අවස්ථාවක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අන් කවරදාටත් වඩා තීරණාත්මක අවස්ථාවකට එළැඹ තිබේ.වත්මන් ලෝක වසංගත තත්ත්වය හමුවේ ලොව සෑම රටකම සංචාරක කර්මාන්තය බිඳ වැටිණි. රටවල් අගුලුලෑම නිසා සබඳතාවන් බිඳ වැටී, ගමනාගමන කටයුතු අඩාල විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටිනි. සංචාරක කර්මාන්තය සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ 30කට ආසන්න පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙය ඉසිලිය නොහැකි තත්ත්වයකි.

කොරෝනා වසංගතය පාලනය කරමින් සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ලොව පුරා රටවල අවධානය මේ වනවිට යොමු වී ඇත.කොවිඩ් සමග ජීවත් වෙමින් ලෝකය නැවත නැගිටින්නට උත්සහ දරන මේ මොහොතේ දී අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය යන තේමාව යටතේ ලෝක සංචාරක දිනය සැමරීම සැබවින්ම අර්ථවත්ය. .

ඉහළ ම විදේශ විනිමයක් රට තුළට ගෙන ආ හැකි සංචාරක කර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසකි. එමෙන්ම පහසුවෙන් දියුණු කල හැකි ක්ෂේත්‍රයකි. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ වාර්ශිකව ඇමරිකන් ඩොලර් බිලියන 10ක් සංචාරක කර්මාන්තය හරහා ජාතික ආර්ථිකයට එක් කිරීම අපේ අරමුනයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් එම ඉලක්කය කිසියම් පසුබෑමකට ලක්ව තිබුණද සංචාරකයන්ට රට විවෘත කිරීම සඳහා නැවතත් එකී ඉලක්කය සපුරාගැනීම අපේ අපේක්ෂාවයි.
ආගමික සංස්කෘතික සංචාරක උරුමයන්, ත්‍රාසජනක ක්‍රීඩා, කෘෂිකාර්මික සහ වනාන්තර ආශ්‍රිත සංචාරක කර්මාන්තය , දේශීය ආයුර්වේදය ආදී ක්ෂේත්‍ර මුල් කරගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා පෞද්ගලික අංශයට ද ඇරයුම් කරමි.

අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් නවීකරණය කර අභ්‍යන්තර ගුවන් සේවාවන් දියුණු කිරීම , රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධති ආශ්‍රිතව සංචාරක සේවා මධ්‍යස්ථාන පිහිටුවීම, එම ස්ථාන ආශ්‍රිතව සනීපාරක්ෂක පහසුකම්, අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන ආදිය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම, අන්තර්ජාලය හරහා හෝටල් වෙන් කිරීම, ප්‍රවාහන පහසුකම්, මාර්ගෝපදේශකයෙක්, අභ්‍යන්තර ගුවන් ප්‍රවේශපත්‍ර හා ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර ලබාගත හැකි ආකාරයට මධ්‍යම අන්තර්ජාල මෘදුකාංග පද්ධතියක් සහ සංචාරක ස්ථාන සඳහා ස්වංක්‍රීයව ඇතුළුවීමේ දොරටු ක්‍රමයක් හඳුන්වා දීම ,

සංචාරක ක්ෂේත්‍රය තුළ පුහුණු හා නුපුහුණු සේවා සපයන්නන් දස ලක්ෂය දක්වා වැඩි කිරීම,සම්ප්‍රදායික සහ නූතන නර්තන ශිල්පීන්ගේ ප්‍රාසාංගික ප්‍රදර්ශන අවකාශ ලබා දෙන සහ චිත්‍ර සහ මූර්ති ශිල්පීන්ට ස්වකීය නිර්මාණ අලෙවි කර ගැනීමේ සංචාරක හෝටල් සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන වල ඉඩකඩ ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කිරීම, ආදී සංචාරක කර්මාන්තය නැංවීමේ වැඩපිළිවෙල රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරමු.