Spread the love


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් බලපත් ලබා දීමේ දී මෙතෙක් එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට ප්‍රමුඛත්වය ලබා දී නැත. මේ නිසා ඉදිරියේ දී ත්‍රිකුණාමලයේ වැලි කැණීම් බලපත් ලබා දීමේ දී වැලි කැණීම් සිදුකරන ගම්මානවල වෙසෙන ජනතාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දෙනු ලැබීය.


පසුගියදා ත්‍රිකුණාමලයේ වැලි කැණීම් හා වෙනත් පරිසර ගැටළු සම්බන්ධව සොයා බැලීම සඳහා අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නිල චාරිකාවක නිරත විය. එහිදී වැලි කැණීම් සම්බන්ධ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.


නීලපොළ ගමට ගියා. නීලපොළ ගමේ විශාල වශයෙන් වැලි කැණීම් සිදු කරනවා. එම කටයුතුවල නිරතව සිටින බලපත්ලාභීන් මට හමුවුනා. ඔවුන් රත්තරං පොරවාගෙන හිටියේ. පවුම් දහයේ දොළහේ මාල බෙල්ලේ තිබුනා. ඒ වගේම පවුම් දහයේ දොළහේ තඩි බ්‍රේස්ලට් අත්වල එල්ලෙනවා. නමුත් නීලපොළ ගමේම උපන් අහිංසක මිනිස්සු රත්තරන් මාලයක් තියා තඹ සුරයක්වත් ඔවුන්ගේ කරෙහි තිබුනේ නැහැ.


තමන් උපන් බිමේම තිබෙන සම්පත් පිටින් මිනිස්සු ඇවිත් කොල්ලකාගෙන යනවා .ඒදිහා ඔවුන් බලාගෙන ඉන්නවා. ගම්වල දුප්පත්කම තුරන් කිරීමට නම් ගමේ තිබෙන සම්පත්වල ප්‍රතිලාභ ගමේ මිනිහාට ලබා දිය යුතුයි. එමනිසා මින් පසු වැලි බලපත් ලබා දීමේ දී විශේෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගම්වල ස්ථිරව පදිංචි ජනතාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. ඒ සම්බන්ධව භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගත යුතුයි.


ජනාධිපතිතුමන් විසින් මේ සම්බන්ධව පත් කර තිබෙන ජනාධිපති කාර්ය සාධක බලකායට අනුව ගමේ දුප්පත්කම තුරන් කිරීමට නම් ගමේ සම්පත්වල අයිතිය ගමේ මිනිස්සුන්ට දිය යුතුයි. පිට ප්‍රදේශවල මිනිසුන් ඇවිත් තම ගමේ සම්පත් කොල්ල කනවා දකින්න කිසිම ගමක කෙනෙක් කැමැති නැහැ.


අනික් කාරණය තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශාල පරිසර හානියක් සිදුවෙන බවට මාධ්‍ය විසින් පළ කරන බොහෝ කාරණාවල සත්‍යතාවයක් තිබෙනවා. විශේෂයෙන් කළපු ගොඩකිරීම සම්බන්ධව පවතින තත්ත්වය ඉතාමත් බැරෑරුම්. කළපු ගොඩ කිරීම අනිකුත් ප්‍රදේශවලත් සිදු කරනවා. වැව්වලින් හාරා ඉවත් කරන පස් යොදාගෙන තමයි මේ වැඩේ කරන්නේ. එමනිසා එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.


මෙම කටයුතුවලට අපේ සමහර නිලධාරිනුත් උඩගෙඩි දෙනවා. උදව් කරනවා. ඒ සම්බන්ධ තොරතුරු අපිට තියෙනවා. ඒ නිසා පරිසරය විනාශ කරන්න උදව් කරන අපේ සමහර නිලධාරින්ට තරාතිරම නොබලා දඩුවම් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ බවත් මම මතක් කරන්න කැමැතියි.ස්වාභාවික සම්පත් අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතුයි. පරිසර සම්පත් සීමාසහිතයි. අසීමාන්තික සම්පත් ප්‍රමාණයක් අපිට නැහැ. ඒ නිසා තිබෙන සම්පත් කළමනාකරණය කර ගත යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරිහුද සහභාගි වුහ.