Spread the love


අප රටේ දිනකට පිසින ලද හා නොපිසින ලද ආහාර මෙට්‍රික් ටොන් 5000ක් අපතේ හරින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
අද දිනට යෙදී තිබෙන ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම් කිරීම් පිළිබඳ ජාත්‍යන්තර දැනුම්වත් කිරීමේ දිනය ට සමගාමීව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති වැඩ සටහනක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ලෝකයේ මිනිසුන්ගේ පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පමණ නිශ්ප්‍රයෝජනයේ අපතේ යන බව ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ තොරතුරු මගින් හෙළිදරව් වී තිබෙනවා.
එම ප්‍රමාණය වසරකට ටොන් බිලියන 1.3ක්. අපේ රටේත් නිෂ්පාදනය කරන භෝගවලින් සියයට 40ක් අපතේ යන අතර පිසූ හා නොපිසූ ආහාර මෙට්‍රික් ටොන් 5000ක් පමණ දිනකට කසළ වශයෙන් බැහැර කරනවා. මෙම තත්ත්වය රටට ඉතා විශාල ආර්ථික අලාභයක්.
ලෝකයේ සියලු රටවල් මෙම කාරණය සම්බන්ධව දැඩිව අවධානය යොමු කර තිබෙනවා.

එමනිසා 2030 වනවිට ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය සියයට 50කින් අවම කිරීමේ ඉළක්කයක් අප රටට තිබෙනවා. මේ වනවිට ලෝකයේ ජනගහනයෙන් මිලියන 820ක් පමණ සාගින්නෙන් පෙළෙනවා. ලොව සියලුම ජනතාවට ඇති තරම් ආහාර දැනට නිපදවනු ලැබුවත් නිසි ලෙස ආහාර බෙදී නොයාම හේතුවෙන් විශාල පිරිසකට ආහාර වේලක් ලබා ගැනීම අහිමිව තිබෙනවා.


ලොව පුරා ආහාර අපතේ යාම නිසා සිදුවන ආර්ථික අලාභය ඩොලර් බිලියන 939ක්.ආහාර අපතේ යාමට හේතු වී ඇති කරුණු රැසක් තිබෙනවා. අපේ රට දෙස බලන විට නිසි ලෙස ආහාර සැකසුම් නොකිරීම, සතුන් විසින් සිදුකරන හානි නිසාද, ගොවීන්ගෙන් නිසි ලෙස අස්වැන්න මිල දී නොගැනීම හා ඇතැම් අවිදිමත් ගබඩා කිරීම් නිසා ද ආහාර වර්ග විනාශ වෙනවා.
ලෝකය තුළ මෙන්ම අපේ රට තුළ ද පවතින අධි ආහාර පාරිභෝජනය ද ආහාර නාස්තියට හේතුවක්.