Spread the love

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99යේ තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ගබඩා කිරීමේ හැකියාව පවතී. එම සුවිසල් ගබඩා පද්ධතිය තවදුරටත් ඉන්දිය සමාගම වෙත දීර්ඝ කාලීනව බදුදීමට රජය අදහස් කර තිබේදැයි අප විදේශ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එහිදී ඔහු සඳහන් කළේ, “ඒ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කරමින් යනවා. හැබැයි අවසාන තීරණයකට එළඹිලා නෑ. අත්තනෝමතික ලෙස තීරණයක් ගැනීමේ අදහසක් නෑ.”

පළමු ලෝක යුධ සමයේ ඉන්ධන ගබඩා කිරීමට සුරක්ෂිත ස්ථානයක් සොයමින් සිටි බ්‍රිතාන්‍යය විසින් ඒ සඳහා තෝරගනු ලැබුවේ ලෝකයේ භූ දේශපාලනිකව වැදගත්කමක් උසුලන ත්‍රිකුණාමලයේ වරායට ආසන්න මෙම ස්ථානයය. මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදුදීමේ සැලැස්ම අතරතුරම, මෙරට IOC පිරවුම්හල් ඇතුළු බෙදාහැරීම් ජාලයද දීර්ඝකාලීනව එම සමාගම වෙත පවරාදීමේ සූදානමක් ඇතැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙයි.
මෙම තෙල් ටැංකි ආසන්නයේම ත්‍රිකුණාමලය වරායත්, අනෙක් පසින් දිවයින පුරා දිවෙන දුම්රිය මාර්ග පද්ධතියට සම්බන්ධ වන දුම්රිය මාර්ගයත් පැවතීම උපක්‍රමිකව වැදගත් මෙන්ම තෙල් බෙදාහැරීමේදී වාසිසහගත වෙයි.

එහි තෙල් ටැංකි 103 ක් ස්ථාපිත කළත් පසුව හතරක් විනාශ වූ අතර මේ දක්වාම ටැංකි 99 ක් ඉතිරිව පවතී. ඒ අතරින් ටැංකි 16 ක් චීන වරාය අසන්නයේත්, අනෙක් ටැංකි ප්‍රධාන මාර්ගයෙන් අනෙක් පස දුම්රිය ස්ථානය ආසන්නයේත් පවතී.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමයේ 1961 අංක 28 දරන පනත මගින් ඛනිජ තෙල් ගෙන්වීම, විකිණීම, බෙදාහැරීම, පිරිපහදුව හා මිශ්‍රකිරීමේ අයිතිය රජයට පවරා ගැනුණු අතර 1987 ඉන්දියාව සමඟ එළැඹි එකඟතාව අනුව මෙම තෙල් ටැංකි සම්බන්ධ තීරණ ගැනීමේදී එරට දැනුවත් කර කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. 2

003 වසරේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා IOC සමාගම සමග එළැඹි ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 35ක කාලයක් සඳහා බදු දුන් අතර ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක කොටසක් එම සමාගමට පැවරීමද සිදුකර තිබුණි. නමුත් එය විධිමත් ගිවිසුමක් මගින් සිදු නොවූ බැවින් අවශ්‍ය ඕනෑම විටෙක එකඟතාව සංශෝධනය කළ හැකි බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.