Spread the love


දශක 2ක පමණ කාලයක් තිස්සේ රජරට ගොවි ජනතාවගේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් ඇතිවීමේ ක්‍රියාවලිය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බැවින් එයට කඩිනමින් ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය නවීන ලේසර් උපකරණ පද්ධතියක් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලබාදීම පියවර ගෙන ඇත..

රෝගීව සිටින ජනතාවගේ මුත්‍රා ගල් ඉවත් කිරීම සඳහා නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක් ලබා දෙන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෞත්‍රලිංගික රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත ලියනපතිරණ මහතා සිදුකළ ඉල්ලීමක අනුව අදාල උපකරණ පද්ධතිය ලබා දී පියවර ගෙන තිබේ.

යාපනය හා වව්නියාව ප්‍රදේශවල රෝගීන් විශාල වශයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතයි. නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක් ලැබීමත් සමඟ, පොරොත්තු ලේඛනයක නොසිට ශරීරයේ ඇති ගල් ඉවත්කිරීමේ ප්‍රතිකාර ගැනීමට රෝගීන්හට හැකිවනු ඇත.
මෙම යන්ත්‍රය High Power Laser Platform ලෙස හඳුන්වන අතර, මුත්‍රා ගල් කුඩු කිරීමට අමතර තවත් රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබා දීමටද යොදා ගත හැකිය. ඉහළම වොට් (Watt) අගයකින් යුතු මෙවැනි යන්ත්‍රයක් රජයේ රෝහලකට ලැබෙන්නේ පළමු වරට බවද ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩි දුරටත් පැවසුවේය.