Spread the love

එළඹෙන නොවැම්බර් 01 වන දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.‍
මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට තිබෙන බවද රඹුක්වැල්ල මහතා පැවසීය.
අද (26) සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.
ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා තවත් මිලියන 14 ½ ක එන්නත් තොග ඇනවුම් කර ඇතිබවත් එම එන්නත් ක්‍රමානුකූලව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.
ඉදිරි මාස තුන හතර ඇතුළත බුස්ටර් එන්නත්. මෙරට අවශ්‍ය ජනතාව උදෙසා ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා කීය. රටෙහි ජනතාවට එන්නත් මාත්‍රා තුනම ලබා දීමට රජය කිසිදු මුදලක් ජනතාවගෙන් අය නොකල බවද, එහෙත් ඇතැම් රටවල් මුදල් අය කරමින් එන්නත් ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ කීය.
වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම ආරක්ෂක අංශ, සහ අනෙකුත් පරිපාලන ඒකකයන් කොවිඩ් වසංගතය හමුවේ දැවැන්ත කැපවීමකින් කටයුතුකර යම් සාධනීය මට්ටමකට අද රට ගෙනවිත් තිබෙනවා. ඇතැම් රටවල් කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ බව කියමින් එය සමරන අවස්ථාවේ එයට සතියකට පසු නොසිතු ලෙස වෛරසය ව්‍යාප්ත වූ අවස්ථාවන් අපි අත්විද තිබෙනවා. යම් පාලනයක් හෝ අඩුවීමක් මෙහි ඇති වීම කොවිඩ් වසංගතයේ අවසානය කියා සහතිකයක් නොවේ.
ජනාධිපතිතුමාගේ මුලික පරමාර්ථය කොවිඩ් එන්නත ලබාගත හැකි සියළු පුරවැසියන්ට එම එන්නත රජයෙන් ලබාදිය යුතුයි යන්නය. අද වනවිට එය සාර්ථකවී තිබෙනවා. වයස අවුරුදු 30 න් ඉහළ පුරවැසියන්ට 100% ක්ම එන්නත්කර අවසන්ය. 20-29 කණ්ඩායමට එන්නත්කරණය සදහා සෞඛ්‍ය පැත්තෙන් ලබාදිය හැකි සියළු පහසුකම් හා
පසුබිම නිර්මාණය කර තිබෙනවා. ඇතැම් සංවිධානවල සංවිධානාත්මක ක්‍රියා කලාපයන් තුළ එන්නත ලබාගැනීමේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. එයද මේ වන විට යහපත් පැත්තකට හැරී තිබෙනවා. ලොව ඉහළම සෞඛ්‍ය සංවිධාන සහ අනෙකුත් සාධකයන් මුලික කරගෙනය අප කටයුතු කරනු ලබන්නේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ යන මහත්වරුන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.