
විදෙස් රටවල් සමඟ ආයෝජන අවස්ථාවන් සිදු කිරීමට යාමේදී ජාතික සම්පත් විකුණනවායි විපක්ෂය බොරු ප්‍රචාර සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවිකිරීමේ උත්සවයට (25) දින සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය.
වැඩි දුරටත් අදහස් දැක්වු නිමල් ලන්සා මහතා,
“අද රටේ හැමතැනම උද්ඝෝෂණ, වැඩවර්ජන මෙහෙයවමින් විපක්ෂය විසින් රටේ ආර්ථික ක්‍රියාවලිය අකර්මණ්‍ය කරන්න උත්සාහ කරනවා. කොවිඩ් වසංගතය තුළ ලෝකයේ කිසිම රටක වැඩවර්ජන සහ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු වුණේ නැහැ. ආර්ථිකයට වඩා වැදගත් ජනතාවගේ ජීවිත බේරා ගැනීම යන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කළා.
ඒ නිසා ලෝකයේ අනිත් රටවල් සමඟ බලන විට ලංකාව එන්නත්කරණ අතින් සුවිශේෂී ස්ථානයකට පැමිණ තියෙනවා. අද ජනතාව ඒ ගැන කථා කරන්නේ නැහැ. පසුගිය කාලයේදී කොරෝනා නිසා මිනිස්සු මැරුණාම විවිධ ප්‍රචාර ගෙන ගියා. මළ මිනී පෙන්නුවා. අද ඒ සියලු දේ අවම කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුළුවන්කම ලැබිල තියෙනවා. අද කවුරුත් මේ ගැන හොඳ කියන්නේ නැහැ. අද කාටවත් මේවා පෙනෙන්නේ නැහැ.
ලංකාව ලෝකයේ දරුණු වසංගතයකට මුහුණු දීල ඒ වසංගතය ජයග්‍රහණය කරපු ලෝකයේ අංක එකට පැමිණි රටක් ලෙස ශ්‍රී ලංකාව ගන්න පුළුවන්. අපි දුප්පත් රටක්. අපට බලය තියෙන රටක් නෙමෙයි. තාක්ෂණය අතින් විශාල දියුණු රටක් නෙමෙයි. එහෙත් අපට බලවත්, ධනවත් රටවල් අභිබවා කොරෝනා අවම කිරීමේ වැඩසටහන ඉතා හොඳට කරන්න පුළුවන් වෙලා තියෙනවා. වැටුණු ආර්ථිකය ගොඩගන්න මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කරල තියෙනවා. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙලා සහයෝගය දෙන්න ඕන.
ආණ්ඩුවකට තනිව ආර්ථිකය ගොඩනගන්න බැහැ. කොරෝනා වැඩි වෙද්දී රට වහන්න වහන්න කිව්වා. වැහුවා. මොකද වුණේ? අපට ලැබිය යුතු සියලු ආදායම් නැති වුණා. රේගු, සුරා බදු, සෘජු සහ වක්‍ර බදු ආදායම් අඩු වුණා. ඇයි ඒ? රට වැසූ නිසා. රට වහන්න කිව්වා. අපි වැහුවා. කොරෝනා වසංගතයෙන් රට බේරා ගත්තා.
අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම ආර්ථිකය වැටිල තියෙන්නේ. ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. ගෑස් වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. සිමෙන්ති වැඩි වෙද්දී අපට මොකද කරන්න පුළුවන්. මේ සියල්ලම ආනයනය කරනවා. ආනයනය කරද්දී කන්ටේනර් ගාස්තු වැඩි වෙලා. රක්ෂණ ගාස්තු වැඩි වෙලා. විපක්ෂයේ අය මේවා දන්නවා. ඒත් කියන්නේ අඩු කරන්න කියලා. අඩු කරන ක්‍රමය පුළුවන් නම් කියල දෙන්න. ආර්ථිකයට සල්ලි ගස්වලින් කඩන්න බැහැ. විපක්ෂ නායක යන යන තැන කියන්නේ දෙන්නලු. දෙන්න තියෙන්න එපාය. තියෙන්න ලැබෙන්න එපාය. කාගෙන්ද ආදායම් ලැබෙන්නේ ?