වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් සිදු කරන වැලි මිල දී ගන්නන් ගසා කෑම නැවැත්වීම සඳහා ලබන වසරේ සිට අපේ රටේ ප්‍රමුඛ රාජ්‍ය ආයතනයක් වන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් වැලි බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම මින් පසු වැලි නිකුත් කිරීමේ දී කිසිවෙකුහට හෝ ප්‍රමුඛත්වය ලබා නොදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. ඇතැම් අවස්ථාවල සමහර පුද්ගලයින් තම නිලබලය හා ධනබලය උපයෝගී කර ගනිමින් වැලි නිකුත් කිරීමේ දී ප්‍රමුඛතාවය ලබා ගැනීමට කටයුතු කරන බව ද වාර්තා වී තිබේ. එමනිසා වැලි නිකුත් කිරීමේ දී මින්පසු ප්‍රමුඛත්වය ලබා දෙන්නේ බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් වැනි ආගමික ස්ථානවල සිදු කෙරෙන ඉදිකිරීම් සඳහා පමණි.
එසේ නොමැතිව මින් පසු දේශපාලන සම්බන්ධකම් හෝ රජයේ ඉහළ තනතුරු හෝ ධනවත්භාවය සැළකිල්ලට ගනිමින් කිසිදු ප්‍රමුඛත්වයක් ලබා නොදිය යුතු බව GSMB- TS ආයතනයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
වැලි තොටුපොළ අයිතිකරුවන් හා ටිපර් රථ රියදුරන් සමග වැලි බෙදාහැරීමේ කටයුතු විදිමත් කරලීම සඳහා පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස තමන්ට උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
විශේෂයෙන් වර්තමානයේ වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් සිදුකරන පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මකබවින් ඉහළ වැලි තම ඉදිකිරීම් සඳහා යොදාගැනීමේ අවස්ථාව මහජනතාවට ලබාදීමත් අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.
දැනට වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ මනම්පිටිය වැලිවලටය. නමුත් ඇතැම් අතරමැදියන් මනම්පිටිය වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලකට අලෙවි කරනු ලබයි.
එමනිසා රජය විසින් අතරමැදියන් සඳහා නොව වැලි ගොඩදමන කම්කරුවන් සහ වැලි මිල දී ගන්නා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.
මේ වනවිට මනම්පිටියෙන් රුපියල් 4830කට මිල දී ගන්නා වැලි කියුබ් එකක මිල වෙළෙඳපොලට එනවිට රුපියල් 6550ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ද මෙම අතරමැදියන් සිදු කරන ගසා කෑම නිසා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම වැලි කැණීම් හා වැලි මිල දී ගැනීමේ කටයුතු තවදුරටත් රාජ්‍ය ආයතනයක් වන GSMB Technical Services (PVT) Limited මගින් සිදු කෙරේ. ඔවුන් විසින් එම වැලි බෙදාහැරීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට සැපයීමට නියමිතය. වැලි බෙදාහැරීමේ කටයුතු දැනට වැලි ප්‍රවාහණය කරන ටිපර් රථ මගින් සිදු කළ හැකිය.
එමනිසා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සමග සිදු කළ සාකච්ඡා මේ වනවිට සාර්ථකව ඇතැයි කී අමාත්‍යවරයා ලබන වසරේ සිට එම කටයුතු සිදු කිරීමට හැකිවනු ඇති බව ද සඳහන් කළේය.
