හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩ සටහන දිස්ත්‍රික්ක 07 මෙම වසරේ ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 09ක මුදලක් ලබාදෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහන මගින් දිවයින පුරා රුක්ගහණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ රෝපණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ රුක්රෝපණ වැඩ සටහන් යටතේ පැළ ලක්ෂ 15ක් ඉක්මවා මේ වනවිට රෝපණය කිරීමට හැකි ව තිබේ.
හුස්ම දෙන තුරු වැඩ සටහන යටතේ පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද නැකතට පැළයක් රුක්රෝපණ වැඩ පිළිවෙළ යටතේ දිවයින පුරා පැළ ලක්ෂ 10ක් ඉක්මවා රෝපණය කර තිබේ.
ඊට අමතරව පෙම්වතුන්ගේ දිනය, ලෝක පරිසර දිනය මෙන්ම පුද්ගලික අංශයේ සහයෝගය ඇතිව ඉහල ජලාධාර ප්‍රදේශවල පැළ රෝපණය හා මහවැලි ගං ඉවුරු දෙපස කුඹුක් හා මී පැළ 187,000 රෝපණය කිරීම මෙන්ම මී පැළ 50,000ක් රෝපණය කිරීම වැනි සටහන්වලින් තවත් පැළ ලක්ෂ 05ක් ඉක්මවා රෝපණය කරනු ලැබීය.
එමෙන්ම යුධ හමුදා දිනය නිමිත්තෙන් ද දිවයිනේ ස්ථාන 10ක දී පැළ 10,000ක් රෝපණය කරනු ලැබීය.
එමෙන්ම මේ වනවිට ආගමික ස්ථාන ආශ්‍රිතව ඔසු වන වැඩ සටහන යටතේ ස්ථාන 120ක ඔසු වන ආරම්භ කරනු ලැබීය. මේ සියල්ලම හුස්ම දෙනතුරු වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කළ ඒවා ය.
මේ අතර එළඹී ඇති වැසි සමය සමග නැවත වරක් හුස්ම දෙන තුරු වැඩ සටහන යටතේ පැළ රෝපණය කිරීම සඳහා පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
ඒ අනුව දිස්ත්‍රික්ක හතකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 09ක මුදලක් රුක්රෝපණය සඳහා වෙන් කරනු ලැබීය. මේ යටතේ මොනරාගල දිස්ත්‍රික්කයට රු.මි. 01ක්, කෑගල්ල රු. මි. 1.2ක්, ත්‍රිකුණාමලය රු.මි. 1.5ක්, හම්බන්තොට රු. මි. 1.5ක්, බදුල්ල රු. මි. 01ක්, කොළඹ රු. මි. 1.2ක්, හා ගම්පහ රු. මි. 1.5ක් වශයෙන් රුපියල්
මිලියන 09ක මුදලක් හුස්ම දෙන තුරු වැඩ සටහන යටතේ රුක් රෝපණයට වෙන් කරනු ලැබීය.
2025 වනවිට වනගහනය සියයට 30ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණයි. අපේ රටේ මේ වනවිට වනගහණය සියයට 29කි. එය සියයට 30ක් දක්වා එනම් තවත් සියයට 01කින් වර්ධනය කිරීමට නම් හෙක්ටෙයාර් 16,000ක් අලුතින් වන වගාව කළ යුතුව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමනිසා හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහන යටතේ ඉදිරි මාස දෙකට මෙම මුදල ලබා දෙන අතර ඉදිරි වසර කිහිපය තුළ ද වාර්ෂිකව මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
