GSMB ආයතනය මගින් දිවයින පුරා භූ- රසායනික සිතියම් (Geo-Chemical Mapping) සකස් කිරීමේ වැඩ පිළීවෙළක් ඇරඹීමට තීරණය කර ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
කෘෂිකර්මාන්තය මෙන්ම වෙනත් කාර්මික නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ දී ඵලදායී ලෙස භූ සම්පත් යොදා ගැනීමේ අරමුණ පෙරදැරිව දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි භූ- රසායනික සිතියම් Geo- Chemical Mapping සකස් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස පරිසර ඇමතිවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දෙනු ලැබීය.
GSMB ආයතනය මගින් මින් පෙර ප්‍රදේශ කිහිපයක පමණක් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර තිබුනි.එහෙත් ඉන් පසුව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොවීය. නමුත් වර්තමානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ රජය විසින් ආරම්භ කර තිබෙන කාබනික කෘෂිකාර්මික වැඩ පිළිවෙළට සහයෝගය දැක්වීමක් වශයෙන් ඒ ඒ
ප්‍රදේශවල පාංශු ස්ථරවල පවතින රසායනික තත්ත්වයන් හඳුනාගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ යළි ආරම්භ කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ක්‍රමානුකූල භූ රසායනික සිතියම්කරණය යනු පාෂාණ, පස, ගංගා හා ගංඉවුරු අවසාදිත, ප්‍රවාහ ජලය, භූගත ජලය සහ වෘක්ෂලතා වැනි පෘථිවි පෘෂ්ඨයේ හෝ ඊට පහළින් ඇති ද්‍රව්‍යවල රසායනික මූලද්‍රව්‍යවල මට්ටම්වල වෙනස්කම් ලේඛනගත කිරීමට ඇති හොඳම ක්‍රමය වේ.
භූ රසායනික සිතියම් සකස් කිරීම මගින් පසෙහි භූ රසායනික ලක්ෂණ, ඛනිජ ගවේෂණය, පාරිසරික අධීක්ෂණය,කෘෂිකාර්මික පර්යේෂණ, සෞඛ්‍යමය වශයෙන් බලපෑම් සිදු කළ හැකි භූ උපද්‍රව අධ්‍යයනය සඳහා ද මෙම සිතියම් ගත කිරීම් ඉවහල් කර ගත හැකිය.
දැනට දශක කිහිපයක් තිස්සේ කෘෂිකර්මාන්තයේ දී භාවිතා කෙරෙන අධික ලෙස නයිට්‍රජන් සහිත රසායනික පොහොර භාවිතය ද නිවැරදි ලෙස භූ රසායනික පරීක්ෂණවලින් ලබා ගන්නා තොරතුරු මත පදනම් ව ක්‍රියාත්මක නොවන්නකි.
එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පසෙහි කෘෂිකාර්මික වගාවන් සඳහා අවශ්‍ය රසායනික පෝෂ්‍යකාරක ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින අතර ඇතැම් ප්‍රදේශවල ඒවා බාහිර ව යෙදිය යුතුය. නමුත් ඉවක් බවක් නොමැතිව විදිමත් අධ්‍යයනකින් තොරව සිදු කෙරෙන රසායනික භාවිතය හේතුවෙන් පස දූෂණය වීම මෙන්ම අනෙක් අතට පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීමට ද හේතුවේ.
එමෙන්ම වකුගඩු අකරණිය වැනි බෝ නොවන රෝග තත්ත්වයන් ඉහළ යාම මත බරපතල සෞඛ්‍යමය ගැටළුවලට ද, ආහාරවල අඩංගු කැඩ්මියම්, ආසනික්, ඊයම් වැනි බැරලෝහ සාන්ද්‍රණයන් මට්ටම ඉහළ යාමට ද එම තත්ත්වය හේතු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.
එමනිසා මෙම භූ රසායනික සිතියම්කරණය ලබන වසරේ සිට ක්‍රමාණුකූලව දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතාට උපදෙස් දුන්නේය.
ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනටමත් මෙම වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට අවශ්‍ය මුළික කටයුතු යොදා ඇත.
