Spread the love

2023 වසරට ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 70 ක් සපිරෙන බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රය පදනම් කරගනිමින් පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීම කාලෝචිත බව ජර්මානු තානාපති Holger Seubert මහතා කීය.
ජර්මානු තානාපතිවරයා ඊයේ (04) සවස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වූ අවස්ථාවේදී
ලොව ඉහළම නවීන සෞඛ්‍ය තාක්ෂණික පද්ධතියක් පවතින ජර්මනියේ ආයෝජකයන් මෙරට ඖෂධ නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා දැඩි උනන්දුවක් දක්වන බවද පැවසුවේය.
ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා දක්ෂ ආයෝජකයන් සිටින බවත් ඔවුන්ගේ ආයෝජන ඉහළ මට්ටමකින් පවතින බැවින් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු වීම වැදගත් වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය
ජර්මනියේ හිටපු චාන්සල්වරයෙකු වන “හෙල්මට් කෝල්” මහතා නමින් මාතර ඉදි කෙරෙන මාතෘ රෝහලේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇතැයිද එමෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ අස්ථි රෝග සඳහා වන ඒකකයේ පුහුණුවට ජර්මානු පුහුණු ශිල්පීන් යෙදවීමට සූදානම් යැයිද තානාපතිවරයා මෙහිදී කීය.
විශේෂයෙන් මේ වන විට කෙරවලපිටියේ ඉදි කිරීමට යෝජිත ඔක්සිජන් නිෂ්පාදනාගාරයේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
බූස්ටර් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම ඉතා වැදගත් කාලෝචිත පියවරක් බවත් විශේෂයෙන් එය සංචාරක ක්ෂේත්‍රයයේ පිරිස් සඳහා ලබා දීමට සැලැසුම් කිරීම අතිශය වැදගත් වනු ඇති බවත් ජර්මානු තානාපති Holger Seubert මහතා කීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

බූස්ටර් එන්නත ලබා දීමට පියවර ගැනීම තුළින් වඩාත් සාධනීය ප්‍රතිඵලයක් ගෙන දෙන බවත් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ඉදිරි පෙළ ක්‍රියාකාරීන් සඳහා එම එනනත ලබාදීමෙන් අනතුරුව සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් ඉලක්ක කර ගනිමින් බූස්ටර් එන්නත ලබා දීමෙන් සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම රටේ ආර්ථිකයට වඩාත් පිටුවහලක් වනු ඇතැයිද කීය.

විශේෂයෙන් දෙස් විදෙස් ආයෝජකයන්ට රට තුළ ආයෝජනය කිරීමට අවස්ථාව ලැබී ඇතැයිද ඉදිරි වසර කිහිපය තුළ රටට අවශ්‍ය ඖෂධ වලින් විශාල ප්‍රමාණයක් රට තුළම නිෂ්පාදනය කිරීමට සැලැසුම් කර තිබෙන බවද රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.