Spread the love


යාපනය අර්ධද්වීපයේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යයයේ දී සුවිශේෂි වටිනාකමක් සහිත යාපනයේ පැරණි මන්ත්‍රී මාළිගා ගොඩනැගිල්ල (“මන්ද්‍රිමානායි” )ගොඩනැගිල්ල සංරක්ෂණය කරන ලෙසත්, මෙහි හිමිකාරිත්වය පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ ය.

පැරණි මන්ත්‍රී මාළිගා ගොඩනැගිල්ල යාපනය නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන පැරණි ගොඩනැඟිලි අතරින් සුවිශේෂී ගොඩනැගිල්ලක් ලෙස මෙය හඳුනාගත හැකිය. රාජමන්ත්‍රී මාළිගය සිංහල ව්‍යවහාරයෙන් ද, “මන්ද්‍රිමානායි” යන දෙමළ ව්‍යවහාරයෙන් හඳුන්වනු ලබයි.

මෙම සංඥානාමයන් සැලකිල්ලට ගැනීමේදී මෙය රජ බිසව හෝ බිසෝවරුන් සඳහා වූ වාසස්ථානයක් ලෙස ද සංකිලියන් රජවරුන්ගේ මාළිගය වශයෙන් ද විවිධ මතවාද පවතී.

වර්තමානය වන විට පැරණි ඉදිකිරීම් නිර්මාණය යම් තරමකට ආරක්ෂා වී ඇති අතර ඉතා අලංකාරවත් හා ප්‍රතාපවත් පෙනුමකින් යුක්තව ප්‍රධාන පිවිසුම නිර්මාණය වී තිබේ. ශාලාවට ප්‍රවිශ්ට වන ස්ථානයේ අලංකාර ලී කැටයමක් වන අතර එය සුපිපුණු නෙළුම් මල් කැටයමකි. ශාලාවට ප්‍රවේශ දොරටු තබා ඇති විශාල ප්‍රමාණයේ කාමර පන්තියකි. ප්‍රධාන ප්‍රවේශයට වම් පසින් පිහිටා ඇති කාමරය අනෙක් කාමරවලට වඩා තරමක් උස්වන සේ ඉදිකර ඇත. දැවයෙන් කරන ලද සොල්දර සහිතය. ඒ සඳහා යොදා ගන්නා ලද දැව බාල්ක දැනුදු දක්නට ලැබේ.

ප්‍රධාන පිවිසුමට දකුණු පසින් මුළුතැන්ගෙය හා ළිඳ ඉදිකර ඇති අතර ගොඩනැගිල්ලේ ඇතුළත නිමාවට පිටතින් ද මීට සම්බන්ධ තවත් කාමර සහ කොටස් පැවැති බව පෙනේ. සම්පූර්ණ ගොඩනැගිල්ල මයෝසීන හුණුගලින් ඉදිකර ඇත. බිත්ති හුණු බදාමයෙන් කපරාරු කර තිබෙන අතර ප්‍රධාන ප්‍රවිශ්ටය සහ ඇතුළත කුලුනු සැරසිලි සඳහා දකුණු ඉන්දියානු ආභාසය ලැබී ඇති බව ද විවිධ මතවාද පවතී.