Spread the love

අනුරාධපුර දක්ෂිණ ස්තූපය පිළිසකර කිරීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) අනුරාධපුර බුලංකුලම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති නිල්වත්තේ සමුදිත මිහියන්ගේ ආශීර්වාදය මධ්‍යයේ සිදු කෙරිණි.

මහාවිහාර ආරාම සංකිර්ණය ඇතුලත සීමාවෙහි ශ්‍රී මහාබෝධිය ආසන්නයේ පිහිටා ඇති විශාල ගඩොල් මුවා ස්තූපයක් වන මෙය උතුරු හා දකුණු දෙසින් ගරා වැටී ඇති වාහල්කඩ හි ශේෂ පැහැදිලිව දක්නට ලැබෙන අතර, මෙහි ඇති කැටයම් අනුරාධපුර අවදියෙහි කලා ශිල්පීය කුසලතා ලොවටම කියාපානු ඇත.

මහා වංශයෙහි සඳහන් වන පරිදි දුටුගැමුණු රජතුමාගේ අදාහනය පුළිල මළුවේ සිදු කරන ලද බවත්, (රජතුමාගේ ඉල්ලිම පරිදි) එම පුළිල මළුව දකුණු දාගැබ පිහිටි භුමිය බවට අනුමාන කෙරෙන අතර කාලයක් මෙම ස්ථානය එළාර සොහොන ලෙස ද හදුන්වා තිබේ.

1896 වර්ෂයෙහි එච්.සී.පී බෙල් මහතා ස්තූපයේ කැණීම් සිදු කර ඇති අතර,එය මඟ නතර වු බවට වාර්තා කර තිබෙන බවට සඳහන් වේ.එසේම 1948 මාර්තු මස ආචාර්ය සෙනරත් පරණවිතානයන් මෙම ස්ථානයෙහි ගවේෂණ කටයුතු දියත් කර තිබේ.

මෙම අවස්ථාවට ජාතික උරුම,ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ එල්.එම්. ගුණතිලක බණ්ඩා, ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පිරිසක් සහභාගීවුහ.