Spread the love


සිංහරාජයේ මහාචාර්යවරයා යන නාමයෙන් පරිසරයට ආදරය කරන දෙස් විදෙස් සියලු දෙනාගේ ඉමහත් ගෞරවාදරයට පත් මාටින් විජේසිංහ මහතා ගහකොළ,ඇළදොළ, සතා සිව්පාවුන් විෂයෙහි මහා දැනුම් සම්බාරයක් තිබු පරිසර හිතකාමියෙකි.
මට පෞද්ගලිකව එතුමා හමු වීමට අවස්ථාවක් නොලැබුනත් නොයෙක්වර පරිසර සංරක්ෂණය සම්බන්ධව සාකච්ඡා කළ පරිසරවේදීන්, මාධ්‍යවේදීන් මෙන්ම විද්වතුන් මාටින් විජේසිංහ මහතා සතුව පැවැති මහා දැනුම් සම්භාරය ගැන මා සමග පවසනු ලැබීය.
ඇවිදින විශ්ව කෝෂයක් බඳු එතුමා සිංහරාජය වනාන්තරයේ හැම ඉසව්වකම ඇවිදිමින් සිංහරාජය සම්බන්ධ දැනුම නැමැති මහා ධනය රැස් කර ගත් බහුශ්‍රැතයෙකැයි මම සිතමි. මාටින් විජේසිංහයන්ට ගරු කිරීමක් වශයෙන් සිංහරාජයේ වැවෙන දුර්ලභ වැල් විශේෂයක් ඩයස්පෝරිස් විජේසිංහ යන නාමයෙන් හඳුන්වනු ලබයි. එමෙන්ම අපේ රටේ පරිසර උනන්දුවන විද්වතුන් මෙන්ම විදේශීය පරිසර හිතකාමීන් අතර ද තම නාමය ප්‍රචලිත කිරීමට එතුමාට හැකි වුයේ පරිසරයට දැක්වූ උනන්දුව නිසාමය. මාටින් විජේසිංහයන් සිංහරාජය පිළිබඳ හැදෑරීමට පැමිණෙන
ආචාර්ය මහාචාර්යවරුන්ට පවා මාර්ගෝපදේශ සම්පාදනය කළ ප්‍රායෝගික දැනුමෙන් අනූන අයෙකි.
අසූ දෙවසක් ආයු වළඳා අප අතරින් සමුගත් සිංහරාජයේ මහාචාර්යවරයා ලෙස හඳුන්වන මාටින් විජේසිංහ පරිසරවේදියාණන්හට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි.