පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක් සඳහා නායායාම් අනතුරු ඇගවීමේ නිවේදනයක්ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර තිබේ.
කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ, ඊයේ (26) රාත්‍රී 08.30 සිට අද රාත්‍රී 08.30 දක්වා බලපැවැත්වෙන පරිදිය.මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බවද සඳහන් කළේය.
මේ අතර මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම සැලකියයුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් මහ ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිරිඋල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මරදගොල්ල, නාඋල්ල, දිවුලදෙණිය සහ වැලිහිඳ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බවය.
මහඔයේ පිටාර ජලය හේතුවෙන් මීගමුව – කුරුණෑගල මාර්ගය ගිරිඋල්ල නගරය අසලින් යටවීමේ අවදානමක් ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවය.
කෙසේවෙතත් යම් හදිසි තත්ත්වයන් ඇතිවුවහොත් ඒ සඳහා මුහුණදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත්, අදාළ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද කටයුතු සූදානම් කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
එමෙන්ම දැදුරුඔයේ ජලාශයට ලැබෙමින් පවතින ජල ප්‍රමාණයද වැඩිවීම හේතුවෙන් තවදුරටත් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.ඒ හේතුවෙන් දැදුරුඔයේ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ අතර කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය නායයෑමේ අවදානමක් හේතුවෙන් ඊයේ රාත්‍රී 12 සිට අද උදෑසන 06 දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.
මේ අතර ඊයේ රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ නිවෙස් කිහිපයක් ජලයෙන් යටවී තිබුණි.
අම්බලන්ගොඩ පෝරඹ දේවාල පාරේ පිහිටි නිවසක් මතට ඊට ඉහළින් ඇති නිවසේ තාප්පය සමග පස් කන්දක් කඩා වැටී තිබේ. අනතුරින් නිවසේ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර නිවසට හානි සිදුවී තිබුණි.
