පරිසරය සුරැකීම රජයට හෝ පරිසර අමාත්‍යාංශයට පමණක් කළ නොහැක්කක් බැවින් පරිසරය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් මෙන්ම මහජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පැවසුවේය.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය අද දින ( 29) පත් කරනු ලැබු අවස්ථාවේදීය.ජාතික පරිසර සභාවට සාමාජිකයින් 25 දෙනෙක් අයත් වේ.
මධ්‍යම පරිසර අධිකාරියේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පරිසර සභාව සඳහා පත් වූ සාමාජිකයින්හට පත්වීම් ලිපි පිරිනැමීම සිදු කරන ලද අතර ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය ද අද දින පවත්වනු ලැබීය.
මෙහිදී නව පරිසර සභාවේ සාමාජිකයෙක් ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ද පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගත්තේය.
එමෙන්ම ජාතික පාරිසරික සභාවේ සභාපතිවරයා වශයෙන් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පත් කරනු ලැබීය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.
