කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන් 8,05,601කට රුපියල් මිලියන 4500ක් මේ වන විටත් රජයෙන් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා සඳහන් කරයි
මෙම මුදල් ප්‍රදානය කර ඇත්තේ කුඹුරු හෙක්ටයාර් 647681ක් වෙනුවෙනි.
කොමසාරිස් ජෙනරාල් වරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කාබනික වගාවේ ඉදිරි ගමන පිළිබඳ ජාතික කථිකාවත මැයෙන් ඊයේ (30) පැවැති වැඩමුළුවකට සහභාගී වෙමිනි.

. මෙම වැඩමුළුවේදී ගොවීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ දිවයින පුරා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුළද කාබනික ඝන පොහොර මෙට්‍රික් ටොන් 7000ක් නිෂ්පාදනය කර ඇති බවය. මීට අමතරව කාබනික ඝන පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය කැබලි කිරීමට අවශ්‍ය යන්ත්‍ර 85ක් ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.
කාබනික ඝන පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සියල්ලටම අමුද්‍රව්‍ය කැබලි කිරීමේ යන්ත්‍ර හා තණකොළ කපන යන්ත්‍ර ලබා දීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී ගොවීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පෙන්වා දුන්නේ මෙවර මහ කන්නයේ කාබනික ඝන පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 4,16,176.73ක් වුවත් සැපයිය හැකිව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,59,708ක් බවය. මේ අතර කාබනික දියර පොහොර ලීටර් 77,25,099ක් මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. රුපියල් 12500 බැගින් ඝන පොහොර නිෂ්පාදනය සඳහා සහනාධාර ලබා ගත් ගොවීන් විසින් කාබනික ඝන පොහොර මෙට්‍රික් ටොන් 1,01957ක් නිෂ්පාදනය කර ඇති බවද පෙන්වා දුන්නේය.
