Spread the love

ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බැවින් වහාම මිල නියාමනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එබැවින් මෙරට නිෂ්පාදනය කරන සහ මෙරට ආනයනය කරනු ලබන සියලුම බීජවල මිල නියාමනය කිරීමට කටයුතු කළ යුතු බව ජාතික බීජ සභාවට අමාත්‍යවරයා අද (02) උපදෙස් දුන්නේය.
විශේෂයෙන් මෙරට ජාතික බීජ අවශ්‍යතාව පිළිබඳ නිවැරදී තොරතුරු පදනම් කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇති ගොවිපල සියල්ල බීජ නිෂ්පාදනයට යොදා ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. ඇමතිවරයා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ජාතික බීජ සභාවේ කමිටු රැස්වීමේදී ය.

මෙරටට අවශ්‍ය බීජ මෙරටදීම නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා එහි වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බීජ සභාවට පැවැරෙන බවද සඳහන් කළේය. එමෙන්ම ඉදිරි මාස 03 ඇතුළත හෝ ඊට පෙර මේ වනවිට රට තුළ ඇති බීජවල තත්ත්වය, දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන බීජ ප්‍රමාණය සහ ඒවායේ ප්‍රභේදයන්, දේශීයව නිෂ්පාදනය කරන බීජ අපනයනය කරන්නේද, එසේනම් එහි ගුණාත්මකභාවය, පිටරටින් ආනයනය කරන බීජවල ප්‍රමාණය සහ වර්ගය, දේශීය බීජ නිෂ්පාදනය 50%කින් වැඩි කර ගැනීම සඳහා ගත යුතු පියවර ඇතුළු කරුණු 12ක් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.