දරුවන්ගේ රසඥතාවය ඔප්නැංවීම උදෙසා මහඟු සේවයක් සිදු කළ අභාවප්‍රාප්ත ආනන්ද කුමාරගේ මහතා වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවලිය හරහා රුපියල් ලක්ෂ දෙකක මුදල් චෙක්පත ඔහුගේ භාරකරු වශයෙන් නම්කර සිටි සරත් කුමාර මහතා වෙත ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්.දිසානායක මහතා ඊයේ (02) ප්‍රදානය කළේ ය.
නාට්‍ය අධ්‍යක්ෂණයෙන්,නිෂ්පාදනයෙන් හා රංගනයෙන් දස්කම් පෑ ආනන්ද කුමාරගේ මහතා කලා ක්ෂේත්‍රය තුළ (සුරංග මාමා) යන අන්වර්ථ නාමයෙන් ජනාදරයට පත්ව සිටියේ ය.
ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ මඟපෙන්වීම යටතේ වේදීකා නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු ප්‍රාසාංගික කලාකරුවන් 500 දෙනකු වෙනුවෙන් ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2020 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලදී.
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ, මහා භාණ්ඩාගාරයෙන් ලැබූ මූල්‍ය ප්‍රතිපාදන මත කලාකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් මෙම ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි.
කලාකරුවන් වෙනුවෙන් ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය හරහා රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදල් ප්‍රමාණයක් ටවර් හෝල් රඟහල පදනම හා ජනශක්ති රක්ෂණ සමාගම එක්ව කලාකරුවන් වෙනුවෙන් ප්‍රදානය කර තිබේ.
