Spread the love

සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔප්නැංවීම සදහා ආරම්භ කර ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි 09 වැන්න ලෙස නැගෙනහිර පළාතේ වාලච්චේනෛ මුල්කරගෙන පිහිටවූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

වාලච්චේනෛ පිහිටවූ මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත දමිළ තරුණ තරුණියන් සදහා ආරම්භ කළ පළමු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙහි සංකල්පීය අදහස හිටපු සමාජසේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසින් 2017 වසරේදී ඉදිරිපත් කර ඇති අතර හිටපු සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රදීප් යසරත්න මහතා ඊට මැදිහත්ව තිබේ.

රුපියල් මිලියන 141ක මුදලක් වැයකර ඉදිකර ඇති මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කාන්තා පිරිමි නේවාසිකාගාරවලින්ද යුක්ත අතර පාඨමාලා පැවැත්වීම සදහා පහසුකම් සහිත පංතිකාමර පද්ධතියකින්ද යුක්තය.

මූලික අදියරේ ඇදුම් මැසීමේ පාඨමාලාව සහ ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සදහා සිසු සිසුවියන් 40 දෙනෙකු තෝරාගෙන ඇත. මේ සදහා අවශ්‍ය උපකරණ චයිල්ඩ් ෆන්ඩ් ආයතනය විසින් ලබාදී ඇත.

විවිධ ආබාධ සහිත වයස අවුරුදු 16-35ත් අතර අවිවාහක තරුණ තරුණියන්ට මෙහි පාඨමාලා හැදෑරිය හැකි අතර ඒ සදහා නේවාසික පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම් හා දෛනික පැමිණීමේ දීමනාවක් මෙන්ම පුහුණුව අවසානයේ මෙවලම් කට්ටලයක් සමග වටිනා සහතිකයක් අභ්‍යාසලාභීන් වෙත පිරිනැමීමට නියමිතය.