Spread the love

මෙරට කෘෂිකාර්මික කටයුතුවලදී ඒ ඒ පළාතේ පස පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා පසේ සංයුතිය අනුව පමණක් යල කන්නයේ සිට පොහොර යෙදවීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.


එසේ කළහොත් අනවශ්‍ය ආකාරයට කෙරෙන රසායනික පොහොර ආනයනය සීමා කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයට 2022 වර්ෂය සඳහා අය – වැයෙන් වෙන්කර දී ඇති මුදල් වියදම් කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

“ පස පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 362කට ලබා දී තිබෙනවා. තවත් මධ්‍යස්ථාන 200කට ලබන වසර තුළ පස පරීක්ෂා කිරීමේ උපකරණ ලබා දෙන්න පුළුවන්. ඒ අනුව දිවයින පුරා සෑම භූමියකම පසේ සංයුතිය අවබෝධ කර ගන්න පුළුවන්. එමඟින් ඒ ඒ ප්‍රදේශවල පසට අවශ්‍ය පොහොර වර්ගය හා ප්‍රමාණය තීරණය කර ගන්න පුළුවන්” යැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපල 22න් ගොවිපල 7ක් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව සංවර්ධනය කිරීමට ද ⁣අද පැවැති සාකච්ඡාවේදී තීරණය කෙරිණ. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 2100කි. එමෙන්ම කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන වඩා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමටත් එමඟින් ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා ගත යුතු බවද තීරණය කෙරිණ. වී වගාව බහුලව සිදු කරන ප්‍රදේශවල යාය ක්‍රමයට ගොවි සංවිධාන පිහිටුවා ගොවීන්ට අත්‍යවශ්‍ය ගොවි උපකරණ ලබා දීමේ වැඩපිළිවලක් දියත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී එකඟතාවක් ඇති කර ගැනිණ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 500කි.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සමඟ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන්ද සම්බන්ධ වී සිටියහ.