Spread the love

 ..

පාස්කු ප්‍රහාරයෙන් පසු නැවතුණු ශ්‍රී ලංකාව හා පෝලන්තය අතර සෘජු ගුවන් ගමන් හෙට (08) සිට යළි ඇරඹෙයි. ඒ අනුව පෝලන්ත හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සදුදා, බදාදා හා සෙනසුරාදා යන දිනවල Lot Polish ගුවන් යානා මෙරටට පැමිණිමට නියමිතයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට පෝලන්ත තානාපති මහාචාර්ය Adam Barakooski මහතා අතර අද (07) පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය කෙරිණ. පෝලන්ත තානාපතිවරයා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා හමුවුයේ සංචාරක අමාත්‍ය කාර්යාලයේ දියි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කියා සිටියේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණිම නතරවුුණු ගුවන් සමාගම් රැසක් ද මේ වන විට යළි මෙරටට පැමිණිමට කටයුතු යොදා ඇති බවයි. කොවිඩ් වසංගතයට පෙර ගුවන් සමාගම් 37 ක් මෙරටට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළ අතර රට නැවත විවෘත කිරිමෙන් පසු මේ වන විට ගුවන් සමාගම් 23 ක් නැවත මෙරටට මගී ගුවන් ගමන් ආරම්භ කර තිබේ. තවත් ගුවන් සමාගම් 08 ක් මේ වන විට ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

ශ්‍රී ලංකාව හා පෝලන්තය හරහා සංචාරක කර්මාන්තය නංවාලිම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ද මෙහි දි අවධානය යොමු කෙරිණි. සංස්කෘතිකමය සංචාරක කර්මාන්තය(Cultural Tourism) සහ සුවතා සංචාරක කර්මාන්තය (Wellness Tourism) කෙරෙහි පෝලන්ත සංචාරකයන්ගේ වැඩි අවධානයක් යොමුව ඇතැයි තානාපතිවරයා මෙහි දි කියා සිටියේය. ශ්‍රී ලංකාව හා පෝලන්ත සංචාරක සංවිධාන නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරියේ දි පැවැත්විමටත් ඒ අනුව සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමටත් තීරණය කෙරිණි.

මෙම සාකච්ඡාව සදහා නව දිල්ලියේ පිහිටි පෝලන්ත තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Ewa Stankiewicz, සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වුහ.