Spread the love



පාර්ලිමේන්තුව තිබෙන්නේ රටට වැදගත් කරුණු ගැන සංවාද, විවාද කරන්න මිසක් ඇඟේ හයිය හත්තිය පෙන්වලා ගුටි ඇණගන්න හෝ කුණුහරුප කියන්න නෙවෙයි. මේ වගේ පාර්ලිමේන්තුවකින් රටටවත් මහජනතාවටවත් වැඩක් නැහැ යි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා වීරකැටිය දෙබොක්කාව ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් බැගින් ලබා දීමේ වැඩ සටහනකට සහභාගි වෙමිණි. පරිසර අමාත්‍යවරයාගේ පුද්ගලික මුදල් යොදවමින් මෙම පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩ සටහන පැවැත්විනි.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා.පාර්ලිමේන්තුවේ අද තත්ත්වය ගැන මම ඉතාමත් කණගාටු වෙනවා. මම 1994 ඉඳන් ම පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වුනාට මේ වාගේ පාර්ලිමේන්තුවක් නම් මම දැකළා නැහැ.

අද හැම දේශපාලකයෙක්ම හැම පක්ෂයක්ම මහජනතාවට එපා වෙලා ඉන්නේ. බඩු මිල ඉහළ යනවා. ගොවීන්ට වගා කරන්න හරියට පොහොර ටික ලැබෙන්නේ නැහැ. ගේ ඇතුළේ තියෙන ගෑස් සිලින්ඩර් ගිනි ගන්නවා.ගෑස් කුකර් පුපුරණවා. ගෙවල් දොරවල් ගණනාවක් විනාශ වෙලා. ආදායම් මාර්ග ඇහිරිලා. අනිත් පැත්තෙන් ගංවතුර. සමහර ප්‍රදේශවල දවස් තිහ හතලිහක් තිස්සේ ගෙවල් වතුරට යටවෙලා. මිනිස්සුන්ගේ අත් පා කුණු වෙලා.බඩු මිළ අහස උසට.

ඒ මහජන ප්‍රශ්න කතා කරන්න තියෙන පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන්නේ ගුටිකෙළි හා කුණුහරුප විතරයි. . හරවත් යමක් හෝ මහජන ගැටළු සංවාදයට ලක් වෙන්නේ නැහැ.පාර්ලිමේන්තු විවාද සජීවි ව විකාශය කරන්නට තීරණය කළේ ඒ නිසා. එතකොට මහජනතාවට පුලුවන් තමන්ගේ නියෝජිතයින් හැසිරෙන ආකාරය බලා ගන්න. අද ඡන්ද දායකයින්ටවත් බය නැති නියෝජිත පිරිසක් ඉන්නේ. අඩු තරමින් දේශපාලකයෙක් තමන්ගේ ඡන්ද දායකයින්ටවත් බයවෙන්න ඕනෑ. මේ දවස්වල පාසැල් සිසුන්ට මහජන ගැලරිය විවෘත කර නැහැ. ඒ නිසා හොඳයි. එහෙම වුනා නම් ඒ දරුවන්ටත් නරක ආදර්ශයක් පාර්ලිමේන්තුවෙන් ලැබෙනවා.


මං හිතන්නේ කථානායකතුමනුත් තමන්ට ඇති බලතල මීට වඩා පාවිච්චි කරනවා නම් හොඳයි.පාර්ලිමේන්තුව ඇතුළේ අනිසි විදියට හැසිරෙන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ කවර මන්ත්‍රීවරයෙකුට එරෙහිව වුවත් කටයුතු කරන්න පියවර ගන්න ඕනෑ. අපි පක්ෂනායක රැස්වීමේ දී මේ සම්බන්ධව කථානායකතුමාගේ අවධානය යොමු කරන්න පියවර ගන්නවා.

අපේ රටේ ජනතාව අමාරුවෙන් ජීවත් වෙන අවස්ථාවක වුනත් සමහර දේශපාලකයෝ මෙන්ම රජයේ නිලධාරින් මහජන මුදල් සොරකම් කරන්නට හෝ නාස්ති කරන්නට කටයුතු කරනවා නම් මොකක්ද රටට වෙන්නේ. මහජනතාවට සිදු වෙන්නේ මොකක්ද. මම කියන්නේ මහජනතාව දුක් විඳින අවස්ථාවක මහජන දේපොළ හොරකම් කිරීමට දේශපාලකයින් මෙන්ම රජයේ නිලධාරින් කටයුතු කරනවා නම් ඔවුන්ට හෙණ ගහන්න ඕනෑ.