Spread the love

වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් බවට පත්කිරීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරයි.


අපි ඒ වෙනුවෙන් ව්‍යාපෘතිි රාශියක් දියත්කර තිබෙන අතර මේ වනවිට එම ව්‍යාපෘති වෙනුවෙන් අයෝජකයන්ට ආරාධනා කර තිබෙනවා. රටේ සංවර්ධනයට ක්‍රියාත්මක වනවා වගේම, ජනතා නියෝජිතයන් වශයෙන් අපි නිරන්තරයෙන් ජනතා සුබ සාධනය පිළිබදව සැලකිය යුතුයි. ඒ නිසා ලංකා විදුලි පුද්ගලික සමාගමට යෝජනා කළා, සහන ක්‍රමවේදයක් යටතේ අඩු ආදායම්ලාභීන් සදහා සූර්ය විදුලිබල සබඳතා ලබාදීමට පියවර ගන්නා ලෙසට. එමගින් ඔවුන්ට විදුලියේ හිමිකාරීත්වය ලබාදෙන අතරම අතිරික්ත විදුලිය ආයතනය වෙත මිලදී ගැනීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හැකිවේවි.


විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රිියාත්මක වන, ලංකා විදුලි පුද්ගලික සමාගමේ නව මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව අවධාරණය කළේය.

1983 දී ආරම්භ කර ඇති ලංකා විදුලි පුද්ගලික සමාගම, වසර 30 ක සිට දුටු සිහිනයක් සැබෑ කරමින් මෙම මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට පැමිණ තිබේ. වසර 20 කට පමණ පෙර ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් මිලදී ගෙන ඇති නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ අංක 508 දරණ ස්ථානයේ පිහිටි භූමියක ඉදිවන මෙම ගොඩනැගිල්ල, එම සමාගමේ මූල්‍ය ප්‍රථිපාදන මත, රුපියල් මිලියන 1333ක වියදමකින් වසර දෙකක කාලසීමාවක් තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට යෝජිත අතර මහල් අටකින් යුත් බහුකාර්යය ගොඩනැගිල්ලකි.

මේ වනවිට පවත්නා තත්ත්වයන් යටතේ රට විශාල ආර්ථික ගැටලු රාශියකට මුහුණදී ඇති බවත්, එම දුෂ්කරතා ජය ගනිමින්, ජනතා සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට අතිගරු ජනාධිපති, ගරු අගමැති ප්‍රමුඛ රජය කැපවී කටයුතු කරන බව පැවසූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, ඒ වෙනුවෙන් මේ වනවිට රජය විසින් සාර්ථක තීන්දු තීරණ රාශියකට එළඹ ඇති බව පැවසීය. පොහොර ගැටළුව, ගුරු ගැටළුව මෙන්ම ගල් අඟුරු, සහ ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්‍රයක් ගොඩනැගීමද, ඒ අතර සුවිශේෂී ස්ථානයක් ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.