Spread the love

වී අලෙවි මණ්ඩලයේ අනියම් පදනම මත සේවයේ නියුතු ගබඩා රැකවල්කරුවන්ට ගෙවන දීමනාව ඉහළ නැංවිමට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කොට ඇත.

වී අලෙවි මණ්ඩලය යටතේ පවතින ප්‍රාදේශීය ගබඩාවල ආරක්ෂාව සඳහා අනියම් පදනම යටතේ පත් කර තිබෙන රැකවල්කරුවන්ට මෙතෙක් මාසිකව ලබා දුන් රු. 7500ක දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

දැනට පත් කර ඇති අනියම් රැකවල්කරුවන්ට මාසිකව ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවීම නිසා එම මුදල ඉහළ දැමීම සාධාරණ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී තිබේ.

වී ගබඩා බොහොමයක් පිහිටුවා තිබෙන්නේ මහජනතාව ගැවසෙන ස්ථානවලින් බැහැර ව බැවින් ඇතැම් අවස්ථාවල වී ගබඩා කඩා බිඳ වී පැහැර ගැනීමේ සිද්ධීන් වාර්තා වේ. වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම් ආරම්භ කළ පසු මෙවැනි සිදුවීම් වරින්වර වාර්තා වී ඇත.
මීට සති දෙකකට පමණ පෙර දඹුල්ල ප්‍රදේශයේ දී වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් බිඳ වී මළු 200ක් පැහැර ගෙන තිබිනි. එම සොරුන් පොලිසිය අත්අඩංගුවට ගෙන දින කිහිපයක් තුළ ම නීතිමය පියවර ගෙන ඇත.

මෙවැනි සිදුවීම් වරින්වර වාර්තා වන බැවින් වී ගබඩාවල ආරක්ෂාව තර කරන ලෙස අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය. එහි එක් පියවරක් වශයෙන් අනියම් පදනම මත පත් කර සිටින රැකවල්කරුවන්ට ලබා දෙන දීමනාව ඉහළ නැංවීමටත්, ඔවුන් රැය පහන් වන තෙක් අදාල ගබඩා ආරක්ෂාව සඳහා යෙදවීමටත් අවධානය යොමු වී තිබේ.
වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම සිදු කරන අවස්ථාවල දී පමණක් මෙම රැකවල්කරුවන්ගේ සේවය ක්‍රියාත්මක කරන බව සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.