අපේ රට වසර 71 ක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් පවත්වාගෙන යාම සම්බන්ධව අපි ඇතුළු රට පාලනය කළ හැම කෙනෙක්ම වගකිව බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අපේ අම්මලා පාසැල් යන කාළෙත් අපේ රට හැදින්වුයේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස. ඊට පස්සේ අපිත් පාසැල් යන විට අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. අපේ දරුවොත් පාසැලේ දී ඉගෙන ගන්නේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසයි.
අවුරුදු 71 ක් තිස්සේ මේ රට සංවර්ධිත තත්ත්වයට පත් කිරීමට නොහැකි වීමේ වගකීම අපේ රට පාලනය කළ අපි ඇතුළු සියලු දෙනාම බාර ගත යුතුයි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ අද දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමරු වැඩ සටහනකට සහභාගි වෙමිනි. පරිසරයේ උරුමක්කාරයෝ අපේ දරුවෝය යන තේමාව යටතේ මෙම සමරු උත්සවය පැවැත්විනි.
එහිදී පාසැල් දරුවන් සඳහා ත්‍යාග හා රෝපණය සඳහා පැළ පිරිනැමිම ද සිදු කෙරිණි.එහිදී පාසැල් දරුවන් කිහිප දෙනෙක් ලෝක ළමා දිනය නිමිත්තෙන් අදහස් පළ කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-
අද අපේ රටේ ළමා නිවාස 349ක් තිබෙනවා. ඒවා තුළ දරුවෝ විශාල පිරිසක් මව්පියන් අහිමිව සිටිනවා. ඒ වගේම ලක්ෂයක් පමණ දරුවෝ අනතුරුදායක රැකියාවල නිරත කරවන බවට වාර්තා වී තිබෙනවා. මෙම තත්ත්වයන් වැළැක්වීම සඳහා විශේෂයෙන් දරුවන්ට සිදුවන හිරිහැර වැළැක්වීම සඳහා රජය නව නීති ප්‍රතිපාදන සකස් කිරිමට කටයුතු යොදා තිබෙනවා.
අද දරුවන් ඉදිරියේ සංකීර්ණ ගැටළු රැසක් පැන නැගී තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා වසර දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අහිමි වූ දරුවෝ ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීම සඳහා විශාල ප්‍රයත්නයක් දරනවා. ගස්, ගල් , කඳු, පැල් උඩ සිට සිග්නල් අල්ලා ගැනීමට උත්සාහ කරනවා.
අපේ රට වසර 71ක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක්. අපේ මව්පියෝ, අපි හා අපේ දරුවොත් ඉගෙන ගන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට. දැන් අපේ රට ණය බරින් මිරිකුණු රටක්. මේ රට මෙම තත්ත්වයට පත් වීමේ වගකීම අපි ඇතුලු රට පාලනය කළ සියලු දෙනාම බාර ගත යුතුයි. අනාගත දරුවන්ට හෝ සංවර්ධිත රටක් උදාකර දීමේ වගකීම වත්මන් වැඩිහිටියන්ට පැවරෙනවා.
පරිසරයේ උරුමක්කාරයෝ දරුවෝය යන තේමාව යටතේ අපි මෙම වැඩසටහන සකස් කළේ පරිසරයේ ඇති වටිනාකම වර්තමානයේ ජීවත්වෙන දෙමව්පියන්ට වඩා දරුවන් අවබෝධ කරගෙන සිටින නිසයි. වැඩිහිටියන්ට අවවාද දීමෙන් කිසි වැඩක් නැහැ. නමුත් ඔබ මේ රටේ අනාගතය බාර ගන්නා නිසා මේ පරිසරයේ අයිතිය උරුවය තිබෙන්නේ ඔබට බව මම පවසනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා අතින් ත්‍යාග පිරිනැමිනි.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. ආර්. ආර්. බාලසුරිය,මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද සහභාගි වූහ. කොළඹ විසාකා, බත්තරමුල්ල සුභූති හා මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසැලේ දරුවන් ද සහභාගි වූහ.
