Spread the love

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතන වහාම පූර්ණ විගණනයකට ලක් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (4) උපදෙස් දුන්නේය.

ඔහු පෙන්වා දුන්නේ ඉකුත් රජය සමයේ තම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21හිම සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව තමන්ට දැනටමත් පැමිණිලි ලැබී ඇති බවයි. හිටපු ඇතැම් ඇමතිවරුන්ගේ කුණු කන්දල්වලට කර ගැසිය නොහැකි බැවින් තමන් මෙම තීරණය ගත් බවද ඇමතිවරයා කියා සිටියේය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පළමු අදියරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේදී අද (4) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.ආයතනයක් ආරක්ෂා වුවහොත් එහි සේවකයන් ආරක්ෂා වෙනවා. ඒ නිසා තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා වගේම තමන් වැඩකරන ආයතනය ආරක්ෂා කරගන්නත් අපි දැනගන්න ඕන. පහුගිය රජය කාලේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 137 ක පෝස්ටර් මුද්‍රණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඒක නාස්තියක්. නඩු භාණ්ඩ නිසා අපිට පෝස්ටර් විනාශ කරන්නත් බෑ. ඒ පෝස්ටර් ටික නිකම්ම දිරාපත්වෙනවා. අපි මේ ආයතන පූර්ණ විගණනයට ලක්කරන්නෙ ඒ වගේ වංචා,දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නයි. මම ආයතන විනාශ කරන්නෙවත්, සේවකයන්ගේ සුබසිද්ධියට හානිවෙන දේවල් කරන්නෙවත් නැහැ. නමුත් මට අනුන්ගේ පව්වලට කර ගහන්න බැහැ.
මම ආවේ මේ ආයතන ගොඩගන්නයි. මේ හැම ආයතනයකටම මම පත්කළේ වැඩ දන්න ඉහළම සුදුසුකම් තියෙන සභාපතිවරුයි. ඒ අයට ඔබගේ සහයෝගය ලබාදෙන්න. තර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ. දේශපාලනය කරද්දි අරගලකරුවන්ට අවශ්‍ය විදියට වෙනස්වීමට තමන් සූදානම් නැතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, ගොඩනැඟලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මලිත් පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ