මෙවර අයවැය ලේඛනය මගින් ගුරු- විදුහල්පති වැටුප් ගැටළුව විසඳන්න මුදල් ඇමැතිතුමා දුන් පොරොන්දුව ඉටු කළබව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන්හට වසර 24කට අධික කාලයක් පැවැති වැටුප් විසමතා ගැටළුව නිරාකරණය කරන බවට රජය විසින් ප්‍රතිඥාවක් දී තිබුනා. ඒ සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව වශයෙන් අපි නිර්දේශ කළේ මෙම වැටුප් විසමතාවය නිරාකරණය සඳහා රුපියල් බිලියන 30ක මුදලක් ලබා දිය යුතු බවට. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය ලේඛණය මගින් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන බව පොරොන්දු වුනා.

පොරොන්දු වුනා වගේම එතුමා පසුගියදා ඉදිරිපත් කළ අයැවය ලේඛනයෙන් ගුරු- විදුහල්පති වැටුප් විසමතාවය විසඳීම සඳහා රුපියල් මිලියන 30,000ක මුදලක් වෙන් කළා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති වැඩ සටහන් කිහිපයකට සහභාගි වෙමිනි. එහිදී පෙරපාසැල් සඳහා අත් සේදුම් බඳුන් මෙන්ම උෂ්ණත්ව පරීක්ෂණ යන්ත්‍ර බෙදා දීම සිදු කෙරිණී. එමෙන්ම විදාතා ආයතනයේ ප්‍රතිලාභීන්ට හා සමෘද්ධි ප්‍රතිලාභීන්ට භාණ්ඩ ලබා දීමත්, ගර්භණී මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දිමේ වැඩ සටහනත් ක්‍රියාත්මක කෙරිනි.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-
කවර ආණ්ඩුවක් විසින් හෝ කොයිතරම් හොඳ හා සාධාරණ අයවැය ලේඛණයක් ඉදිරිපත් කළත් විපක්ෂය කවදාවත් අයවැය ලේඛණය හොඳයි කියා ප්‍රකාශ කරන්නේ නැහැ. අඩුපාඩු නැත්නම් නැති අඩුපාඩු හොයනවා. සමහර වෙලාවට අන්වීක්ෂ හා සූම් ලෙන්ස් යොදාගෙන අයවැය ලේඛනය ඉදිරිපත් කළ කඩදාසියේ අඩුපාඩු හෝ හොයනවා. මෙම අයවැය ලේඛණය රටේ ප්‍රශ්න රැසක් මැද ඒවාට විසඳුම් සෙවීම සඳහා ඉදිරිපත් කළ අයවැයක්.
