Spread the love



ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයෙකු හා ඉහල පෙලේ රාජ්‍යතාන්ත්‍රික යෙකු වන රාජා එදිරිසූරිය මහතා ව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදි.
ඒ මහතා අද සිය තනතුරේ වැඩ ආරම්භ කිරීම හෙට (15)කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය.

එදිරිසූරිය මහතා මේ වන වීට කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි .

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන එදිරිසූරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි රට්ගර්ස් (Rutgers University)විශ්ව විද්‍යාලයෙන් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පංතියේ විශේෂ උපාධියක් ලබා ඇත. කැලිෆෝනියාවේ ලා වර්න් (University of La Verne,) විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගෙන ඇති එදිරිසූරිය මහතා කැලිෆෝනියාවේ වෘත්තීය වශයෙන් ලියාපදිංචි සිවිල් ඉංජිනේරුවෙකු ලෙස, කැලිෆෝනියාවේ චිනෝ (city of Chino, California) නගරය සමඟ වසර 16 කට ආසන්න කාලයක් පරිපාලක සහ නගර ඉංජිනේරු යන කීර්තිමත් තනතුරු දරා ඇත.

එදිරිසූරිය මහතා 2006 වසරේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙසත් ,2009 වසරේ මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපති ද ලෙස කටයුතු කර ඇත.

මීට අමතරව බ්‍රසීලය, පේරු, ආර්ජන්ටිනාව, චිලී, කොලොම්බියාව සහ සූරිනාම් යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද රාජා එදිරිසූරිය මහතා කටයුතු කර තිබේ.