Spread the love

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය මාර්තු මාසයේදී ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ (04) තීරණය කළේය.

ඒ බහරේන් නුවර පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදීය.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණද තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කිරීමත් සමග තරගාවලියේ සත්කාරකත්තවය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

දෙරට අතර පැවැත්වෙන තරග ICC සහ ආසියානු ක්‍රිකට් තරගාවලි සඳහා පමණක් සීමාවී ඇත්තේ දිගු කලක සිට පවතින ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුද හේතුවෙනි.

දෙරට අතර පවතින අර්බුද හේතුවෙන් 2006 වසරෙන් පසු ඉන්දියාව පාකිස්තානයේ තරග සංචාරය කර නොමැති අතර පාකිස්තානයද 2007 වසරෙන් පසු ඉන්දියාවේ තරග සංචාරයකට එක්ව නොමැත.

එවැනි පසුබිමක ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ බහරේන් හිදි ඊයේ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡා වූ අතර එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගි වුණි.

ඒ අනුව, ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේ මෙවර තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන්  දීර්ඝ වශයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වා අගෝස්තු – සැප්තැම්බර් මාසලවලදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය මාර්තු මාසයේදී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී ගන්නා බවය.

ආසියානු කුසලානය සඳහා ඉන්දියාව සහභාගී නොවන්නේ නම් ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සිය රට ක්‍රීඩා නොකරන බවටද පාකිස්තානය අනතුරු අඟවා තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශ කර ඇත්තේ, ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවට ක්‍රීඩා කළ හැකි රටක පැවැත්විය යුතු බවටය.

එහිදී තරගාවලියේ සත්කාරක අයිතිය පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු වීම සම්බන්ධයෙන් ද ඉන්දියාවේ විරෝධය පළකර නොමැති බව වාර්තා වෙයි.

මෙවර ආසියානු කුසලානය පාකිස්තානයේදී පැවැත්වීමට නොහැකි වුවහොත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ශ්‍රී ලංකාව හෝ බංග්ලාදේශයේදී පාකිස්තානයේ සත්කාරක අයිතිය ඇතිව පැවැත්වීමට අවධානය යොමුව ඇති බවද වාර්තා වෙයි.