Spread the love

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මෙම වර්ෂයේ ඉදිරි මාස 06 තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා වැඩ සටහන් රැසක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

අදාල ක්‍රියාවලිය සැකස් කෙරෙනුයේ පසුගිය කාලය තුළ අක්‍රියව පෑවැති ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සතුව පවතින මානව හා භෞතික සම්පත් උපයෝගී කර ගනිමින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට වැඩ සටහන් සකස් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා එහි සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතාට ලබාදුන් උපදෙස් අනුවය‍.
ඒ යටතේ අප රටේ දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි ගොවි ජනතාව හා ඒකාබද්ධව ගෙවතු 5000ක් සකස් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන තාක්ෂණික දැනුම හදබිම අධිකාරියේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය මගින් ලබාදීමට නියමිතය.

2022 වර්ෂයේ දී ගෙවතු වගා සංකල්පය පෙරදැරි කොට ගනිමින් රජයේ ආයතන, පාසල්, මහල් නිවාස සහ පෞද්ගලික ආයතන ඉලක්ක කර ගනිමින් ගෙවතු වගාව, කාබනික පොහොර නිෂ්පාදනය ආදිය පිළිබඳ තාක්ෂණික දැනුම හා න්‍යායාත්මක හා තාක්ෂණික පුහුණු වැඩසටහන් හරහා ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.

ගෙවතු වගාව සඳහා අවශ්‍ය වන බීජ, පැළ සහ කාබනික පොහොර ආදිය ජංගම අලෙවිසැල් වෙතින් ලබා ගැනීමට හැකියාව ගොවි ජනතාවට සලසා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය හරහා ක්‍රියාත්මක වන අර්ධ ගෘහාශ්‍රිත කුකුළු පාලන වැඩසටහන ගොවි පවුල් ගොවිපවුල් 1000ක් සඳහා කිකිළි පැටවුන් 10,000ක් ලබා දීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය වන කිකිලි පැටවුන් අධිකාරිය මගින් අදාල පවුල් සඳහා ලබා දීමට පියවර ගෙන ඇත.

එමෙන්ම මේ සඳහා කැමැත්ත දක්වන ගොවීන් සඳහා නොමිලයේ කිකිලි පැටවුන් ලබා දීම වෙනුවට 25% ක මුල්‍ය දායකත්වයක් ඔවුන්ගෙන් ලබා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ වනවිට අප රටින් තුරන්ව යමින් පවතින හේන් ගොවිතැන , කොරටු වගාව, වැට වගාව හා නියර මත වගාකිරීම ආදී සාම්ප්‍රධායික වගා ක්‍රම වෙත ගොවීන් නැඹුරු කිරීමේ වැඩ පිළිවෙළක් ද ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ඇරඹීමට තීරණය කර ඇතැයි ඒහි සභාපතිවරයා පවසයි.