Spread the love



කිරි ගව පාලනය සඳහා පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා දීමට රුපියල් මිලියන 300ක් ඉල්ලු ආයතනය සම්බන්ධව විමර්ශණයක් සිදු කර එම කාරණය සත්‍ය නම් එම ආයතනය අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන බව ඇමති මහින් ද අමරවීර මහතා පවසයි.
කිරි ගව පාලනය සඳහා ඉදිරිපත් වූ විදේශීය ආයෝජක ආයතනයකින් පරිසර අමාත්‍යාංශය රුපියල් මිලියන 300ක් ඉල්ලු බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබුනා. පරිසර අමාත්‍යාංශය කිසි විටෙක පරිසර ඇගයීම් වාර්තා නිකුත් කරන්නේ නැහැ. පරිසර ඇගයුම් වාර්තා නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වරළත් ආයතන 63ක් තිබෙනවා. එම කටයුතු සිදු කරන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්.
මම මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමාගේ ප්‍රකාශය ගැන සොයා බැලුවා. ඒක මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක්. පරිසර අමාත්‍යාංශයට හෝ මධ්‍යම පරිසර අධිකාරියට එවැනි ඉල්ලීමක් කරන්න හැකියාවක් නැහැ. මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ඇගයුම් වාර්තාවක් ඉල්ලු විට අදාල අධීක්ෂණ කටයුතු සිදු කරන ආයතන ලැයිස්තුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සපයනවා. පරිසර ඇගයුම් වාර්තාව ලබා ගන්නේ කුමන ආයතනයෙන්ද යන්න එම ආයෝජකයා විසින් තෝරාගත යුතුයි. යම් කිසි අයුරකින් කිසියම් ආයතනයක් අසාධාරණ අයුරින් රුපියල් මිලියන 300ක් වැනි ලොකු මුදලක් පරිසර වාර්තාවක් නිකුත් කිරීම සඳහා ඉල්ලා ඇද්දැයි වහාම විමර්ශණයක් සිදු කරන ලෙස මම මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නා.
කිසියම් සමාගමක් එවැනි අසාධාරණ මුදලක් ඉල්ලා ඇත්නම් ඒ සම්බන්ධව විමර්ශණයක් සිදු කර එම ආයතනය වහාම අසාදු ලේඛණගත කරන ලෙස මම මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින (21) බත්තරමුල්ලේ දී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවීම පිණීස ආරම්භ කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහනට වසරක් සපිරීම නිමිත්තෙන් සඳුන් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් අද දින ආරක්ෂක මූලස්ථාන පිවිසුම අසළ දී සිදු කෙරිනි.
එම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නිලධාරිහු මෙන්ම යුධ හමුදා මූලස්ථානයේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-
ලෝක වනාන්තර දිනය අද දිනට (21) යෙදී තිබෙනවා. මෙවර එම දිනයේ තේමාව වන්නේ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය, සුවය හා එහි පැවැත්ම සඳහා මාවතක් යන්නයි. සෑම වසරකම මාර්තු මස 21 දින ලෝක වනාන්තර දිනය ලෙස නම් කරන ලද්දේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් 2012 වසරේ සිටයි. ශ්‍රී ලංකාව 2014 සිට එම දිනය සමරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද හුස්ම දෙන තුරු වැඩ සටහනට වසරක් සපිරීම නිමිති කොටගෙන අද මෙම වැඩ සටහන අරඹනවා.
පසුගිය වසරේ අද වැනි දිනක තමයි හුස්ම දෙනතුරු වැඩ සටහනේ පළමු පැළය මෙම ස්ථානයේම අතිගරු ජනාධිපතිතුමන් විසින් රෝපණය කළා.පසුගිය වසරේ කොවිඩ් නිසා අපිට එම දිනය තුළ දීම අදාල වර්ෂ පූර්ණ උත්සවය සමරන්නට නොහැකි වුනා.