Spread the love

ඊයේ රාත්‍රී 10.00 සිට (03) අද අලුයම 06.00 දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකර සැකකරුවන් 664 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 

මේ අතර ඊයේ රාත්‍රියේ සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයක් ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක  යොදා තිබේ.ඒ අනුව ගාල්ල නගරයට ඇතුළු වන සියලු මාර්ග වල නගර සීමාව ආසන්නයේ මාර්ග බාධක යොදා තිබේ.සියලු ග්‍රාමීය මාර්ග වලද මාර්ග බාධක යොදා තිබීම විශේෂත්වයකි.මීට අමතරව නිරන්තරයෙන් පොලිස් ජංගම මුර සංචාර ක්‍රියාත්මක වෙයි.

මේවන විට රටපුරා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.(02) ඊයේ පස්වරු 06.00 සිට (04) හෙට පෙරවරු 06.00 දක්වා ඇදිරි නීතිය රට පුරා ක්‍රියාත්මක අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු මාර්ගයක,දුම්රිය මාර්ගයක,පොදු උද්‍යානයක,පොදු ක්‍රීඩා පිටියක හෝ වෙනත් පොදු භූමියක හෝ මුහුදු වෙරළ තීරයේ නොසිටිය යුතු යැයි නියම කරමින් (02) ඊයේ රාත්‍රියේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.මේ අතර අත්‍යාවශ්‍ය සේවා ,විදේශ තානාපති කාර්‍යයාල සේවකයින්ට සිය සේවා හැඳුනුම්පත හෝ විද්‍යුත් ලේඛනය ඇදිරි නීති කාලසීමාව තුළ ගමනා ගමන කටයුතු සදහා භාවිතා කර හැකි බව ජේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

විදෙස් ගත වීම සදහා ගුවන් තොටුපළ වෙත පැමිණෙන පුද්ගලයන්ට සිය ගුවන් ප්‍රවේශ බලපත්‍රය ඇදිරි නීති බලපත්‍රයක් ලෙස යොදා ගත හැකි බව පැවසීය.