Spread the love


මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සේවා ලබා ගැනීමට බලාපොරාත්තු වන සේවා ලාභීන්හට ප්‍රමාද යකින් තොරව පහසුවෙන් කර ගැනීම සදහා වාහන ලියාපදිංචි කිරිම, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම වාහන පැවරීම වැනි එක් දින සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ඒ තුළින් එක් දිනක් තුළදි වාහන ලියාපදිංචි කිරීම්,පැවරීම්, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම් වැඩි සංඛ්‍යාවක් නිකුත් කළ හැකි බවද අමාත්‍යවරිය පැවසුවාය.
මේ වන විට රියදුරු බලපත් නිකුත් කිරිමේ එක් දින සේවාව ක්‍රියාත්මක වන්නේ මෝටර්රථ දෙපාර්තමේන්තුවේ වේරහැර, හම්බන්තොට හා අනුරාධපුර යන කාර්යාල වලින් පමණි.
එමෙන්ම වාහන ලියාපදිංචි කිරිමේ එක් දින සේවාව ක්‍රියාත්මක වන්නේ ද නාරාහේන්පිට, ගම්පහ, අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, යාපනය යන කාර්යාල වලින් පමණි.
එමෙන්ම මාර්ග ගත ක්‍රමය යටතේ සේවාවන් සැපයෙන්නේ වේරහැර, හම්බන්තොට, අනුරාධපුර, කළුතර, ගම්පහ මහනුවර, කුරුණෑගල හා මොණරාගල යන කාර්යාල වලින් පමණි.
මෙම සේවාවන් වඩාත් පුළුල් කරමින් දිවයින පුරා දිස්ත්‍රික්ක විසිපහ තුළම පිහිටුවා ඇති ශාඛා කාර්යාල තුළින් ජනතාවට මෙම සේවා කටයුතු ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත්, එමගින් සේවා ලාභින්ට ප්‍රමාදයකින් සහ අපහසුතාවයකින් තොරව තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකියාව උදාවනු ඇති බවත් අමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළාය.එම කටයුතු ක්‍රියාත්මක කිරිමට නව තාක්ෂණය යොදා ගතයුතු බවද සඳහන් කළාය.
එමෙන්ම ඊ මෝටරින් ක්‍රමය ක්‍රියාවට නැන්වීම, අංක තහඩු බෙදාහරිම සදහා කුරියර් ක්‍රමවේදය හදුන්වාදීම, මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන වෛද්‍ය ආයතනය අතර සේවා ඒකාබද්ධ කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම තුළින් තව දුරටත් සේවාලාභින් හට තම කටයුතු පහසුකරලීම මෙන්ම ප්‍රමාදය අවම කිරිමට හැකිවන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.


එම අවස්ථාව සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ලලිත් ද අල්විස්, මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුමිත් අලහකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් රැසක්ද සහභාගී විය..