Spread the love

ලබන වසර වන විට අඩු උසකින් යුත් සහ කෙටි කලකින් පල දරණ දෙමුහුන් පොල්පැල මිලියන දෙකක් රට තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතිබව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

දෙමුහුන් පොල්පැල සදහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගෙන එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය මගින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට ලබාදී තිබේ.

දැනට ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව දෙමුහුන් පොල්පැල ලක්‍ෂ 02 ක් පමණ නිෂ්පාදනය කෙරේ.එහෙත් එමගින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකිය.

ඒ අනුව රජයේ පොල්වතු සහ තෝරාගත් පුද්ගලික වතු යොදා ගනිමින් දෙමුහුන් පොල්පැල නිෂ්පාදනය කිරීමට පොල් වගාකිරීමේ මණ්ඩලය සැලසුම් කර ඇතිබව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සදහන් කරයි.

පොල් සහ ඒ ආශ්‍රීත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 850 ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වු බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.