Spread the love



අප රටේ බඩඉරිගු වගාව හා කිරි ගව පාලනයට ඉඩම් යොදා ගැනීමේ දී අවශ්‍ය වන පාරිසරික ඇගයීම් වාර්තා නිකුත් කිරීමේ දී පවතින ප්‍රමාදය වහාම අවසන් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.
කිරිගව පාලනය සඳහා ඉඩම් ලබා දීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් පරිදි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
කිරි ගව පාලනය හා බඩඉරිගු වගාවන්ට පරිසර ඇගයීම් වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති සඳහා පැමිණෙන විදේශීය ආයෝජකයින් ඉවත්ව යන බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මධ්‍යම පරිසර අධිකාරිය යටතේ පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම පිළිබඳව ආයතන 63ක් ලියාපදිංචිව ඇත.
නාවලපිටියේ කිරි ගව පාලනය සඳහා ඉඩම් වෙන් කර ගැනීමට යාමේ දී පාරිසරික ඇගයීම් වාර්තා සකස් කිරීමට රුපියල් මිලියන 300ක් වැනි අසාධාරණ මුදලක් එක් ආයතනයක් විසින් ඉල්ලා තිබේ.
එමෙන්ම වයඹ පළාතේ කිරි ගව පාලනය සඳහා ඉඩම් වෙන් කිරිමේ දී ආයතන දෙකක් අතර පවතින ගැටුම නිසා එම කටයුතු ද දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතී. එමනිසා
මෙම ගැටළු අවසන් කර පරිසර වාර්තා ලබා දීම කඩිනම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
කිරිගව පාලනයේ දී ඉඩමක වැඩි බිම් කොටසක් යොදා ගන්නේ තෘණ වගාවට බැවින් ඒ සඳහා පාරිසරික වාර්තා සැකසීම අත්‍යවශ්‍ය ම නොවන බව සදහන් කළ පරිසර අමාත්‍යවරයා බඩ ඉරිගු වගාව හා කිරිගව පාලනය සඳහා යොදා ගන්නා ඉඩම්වල පරිසර ඇගයීම් වාර්තා ලබා දීම කඩිනම් කරන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.
අපේ රටේ වාර්ෂික බඩඉරිගු අවශ්‍යතාවය මෙ. ටො. 4,50,000ක් පමණ වේ. එහෙත්අපේ රටේ අස්වැන්න මෙ. ටො. 2,80,000- 300,000 අතර පවතී. සෑම වසරකම බඩඉරිගු මෙ. ටො. 100,000ක් පමණ ආනයනය කරනු ලබයි. එමනිසා අපේ රටේ බඩඉරිගු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ද පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.