Spread the love

නීති විරෝධී ලෙස උතුරු පළාතේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (21) මයිලෙඩ්ඩි ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවක එක්වෙමිනි.
මයිලෙඩ්ඩි ධීවර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා මෙම සංචාරයට එක්වූ අතර නුදුරේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවද පැවසීය. එහි රඳවා තිබෙන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු සීමාව තුළ විශාල මත්ස්‍ය හානියක් සිදුකරන බවත්, එය මැඩලීමට සියලු යාත්‍රා රාජසන්තක කරන බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ ධීවරයන්ට හා දේපළවලට හානි සිදු කරමින් ධීවර කටයුතුවල යෙදෙන ධිවර කර්මාන්තය නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති තුමන් හා අග්‍රාමාත්‍යතුමන් තමා හට උපදෙස් ලබා ලබා දී ඇති බවත්, ඉදිරියේ දී නාවික හමුදාව සමග එක්ව මෙම කටයුතු පුළුල් කරමින් මෙරට ධීවර සම්පත රැකගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, මෙසේ රජයට පවර ගන්න ඉන්දීය ධීවර බෝට්ටු උතුරු ප්‍රදේශයේ ධීවර සංගම්වල සාමාජිකයන්ට
ලබාදීමට කටයුතු කරන අතරම භාවිතා කළ නොහැකි තත්ත්වයේ බෝට්ටු අලෙවි කර ලැබෙන මුදල් ඉන්දීය ධීවරයින්ගෙන් හානියට පත් ධීවර කාර්මිකයන්ට ලබාදීමට කටයුතු කරන බවද පැවසීය