Spread the love

දැනට රටතුළ ඇති ඉන්ධන තොග ක්‍රමවත් ලෙස දිවයින පුරා බෙදා හැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා (17) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී අදාළ අංශ වලට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ලැබීමට  නියමිත ඉන්ධන තොග ක්‍රමවත් ලෙස රට පුරා බෙදා හැරීම පිළිබඳ උපදෙස් ලබාදී තිබේ.මෙහිදී පෙට්‍රල්,ඩීසල් ,ගෑස් ආනයනය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

සැපයූම් කරුවන් සමඟ දීර්ඝ කාලීනව ඉන්ධන ලබා ගැනීම සදහා ගිවිසුම් ගතවීම කෙරෙහි එහිදී අවධානය යොමුවූ බව එම මාධ්‍ය අංශ පවසයි.ඉන්ධන බෙදා හැරීමේදී පොදු ප්‍රවාහන සේවා සදහා ප්‍රමුඛතාව හිමි විය යුතුබව ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පිරවුම්හල් යොදා ගනිමින් පෞද්ගලික බස්රථ ,සංචාරක බස්රථ සහ පාසල් වෑන් රථ සදහා පොලිසියේ සහයෝගයෙන් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගත යුතුබව ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

අනිකුත් අත්‍යාවශ්‍ය සේවා සදහා යුධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ ආරක්ෂාව යටතේ ඉන්ධන සැපයීමට එහිදී තීරණය කෙරිණී.අනවශ්‍ය ඉන්ධන තොග රැස්කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරයි.