Spread the love


නිමල් රාජපක්ෂ-

දිරි දින කීපය තුළ පුවත්පත් දැන්වීම පල කර බී.එස්.සී. උපාධිධාරීන් අතරින් සුදුසු අය තෝරා පුහුණුවට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට ගුවන් තොටුපල බලධාරීන්ට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දෙයි.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ ඊ යේ පලපුරුදු හා පුහුණු ගුවන් ගමන් පාලකවරුන් රට හැර යාම වලක්වා ගැනීම සඳහා ඉල්ලීම් 09 ක් මුල් කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය සමග පැවැති සාකච්ජාවකදීය.
එහිදී ඔවුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධ ගැටළු පිලිබඳව මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කිරීමටත්, මහා භාණ්ඩාගාරය සමඟ සාකච්චාවකට අවස්ථාවක් සලසා දෙන බවත් අමාත්‍යවරයා පැවසු අතර ඒ සඳහා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සමාජිකයින්ගේ එකඟතාවය පල විය.
මෙම මූල්‍යමය ගැටළුවට අමතරව විශේෂයෙන් දැනට සේවාවන් පවත්වාගෙන යාම සඳහා පවතින ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය විසදීම පිලිබඳව සංගමය අමාත්‍යවරයාට කරුණූ ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව ඉදිරි දින කීපය තුළ පුවත්පත් දැන්වීම පල කර බී.එස්.සී. උපාධිධාරීන් අතරින් සුදුසු අය තෝරා පුහුණුවට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට ගුවන් තොටුපල බලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී. එමෙන්ම ඔවුන්ගේ සේවාවේ ගුණාත්මකභාවය උසස් කිරීම සම්බන්ධව දෙස් විදෙස් පුහුණු කිරීම්, තාක්ෂණික
උපකරණ සහ මෙවලම් යාවත්කාලීන කිරීම් පිලිබඳ කල ඉල්ලීම් ඉටු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම තම සේවාවේ නියැලීමේදී දැනට පවතින නේවාසික හා ප්‍රවාහන ගැටළු පිලිබඳව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කරන ලදි. ඒ අනුව කටුනායක හා රත්මලාන ගුවන් තොටුපලවල් ආශ්‍රිතව නේවාසික පහසුකම් ලබා දීමට ක්‍ෂණිකව කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙන ලදී.
මෙහිදී ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සමාජිකයින් පැවසුවේ රට ආර්ථික වශයෙන් වැටී තිබෙන මෙවන් අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත නොවන බවත් තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගනිමින් සේවයේ නිරත වන බවත්ය. ඒ පිලිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් පාලකවරුන්ගේ සංගමයට තම ස්තූතිය පල කලේය.
මෙම සාකච්චාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.කේ. චන්ද්‍රසිරි ඇතුළු නිළධාරීන්ද ගුවන් ගමන් පාලකවරුන්ගේ සභාපති තිසර අමරානන්ද,ලේකම් රජිත සෙනෙවිරත්න සහ සහකාර ලේකම් රසික රංජිකුමාර යන මහත්වරුන්ද සහභාගි විය.