Spread the love

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම් 3 ක් ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සංයුතිය අද සැළකිය යුතු ලෙස වෙනස් වුණා.

ස්වාධීන වූ බවට පැවසූ මන්ත්‍රීවරු තුන්දෙනෙකු පසුව ප්‍රකාශ කර සිටියේ තමන් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පැවති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 159 ක්. කථානායකවරයාද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බැවින් එම සංඛ්‍යාව පසුව සැළකුණේ 158ක් ලෙසින්. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් පවතින්නේ ආණ්ඩුව සතුවයි.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක නියෝජනයන් ඇතුළත්. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු ස්වාධීන වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ දැනුම් දුන්නා.

කෙසේ වෙතත් එම මන්ත්‍රිවරුන් පිරිස සමඟ ස්වාධීන වීමට තීරණය කර සිටි ගයාෂාන් නවනන්ද මන්ත්‍රීවරයා පසුව ප්‍රකාශ කළේ තමන් ස්වාධීන නොවන බවයි. ඒ අනුව ස්වාධීන වන බවට සඳහන් කළ මන්ත්‍රිවරුන් 16 දෙනා 15 ක් දක්වා අඩුවනවා.