Spread the love

නුවරඑළිය ප්‍රදේශයට පතිත වන සුළු වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා ඝණ මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් ප්‍රධාන මාර්ග වල ඉදිරියෙන් ධාවනය වන වාහන නොපෙනීමේ නිසා නුවරඑලිය ප්‍රදේශයට ධාවනය කරන වාහන වල රියදුරන් දැඩි ලෙස විමසිල්ලෙන් වාහන ධාවනය කරන ලෙස නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නුවරඑළිය නගර සීමාව , හාවාඑළිය බොරලන්ද උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය , නානුඔය තලවාකැලේ හැටන් ප්‍රධාන මාර්ගය , නානුඔය රැදැල්ල කෙටි මාර්ගය , නුවරඑළිය මිපිළිමාන පට්ටිපොළ ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි මෙම ඝන මීදුම් තත්ත්වය හා ඕනින් මාර්ගයට පැනීමේ අවදානම් තත්ත්වය පවතින බැවින් මෙම මාර්ගයන්හි වාහන යෙදවීමේදී ඉතාමත්ම අඩු වේගයකින් හා සැලකිලිමත්ව වාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙසද නුවරඑළිය පොලිසිය රියදුරන්ට දන්වා සිටියි.

තවද ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනීමේ තත්වයක් පවතින බැවින් සෑම වාහනයකම ආලෝක සංඥා විදුලි පහන දල්වාගෙන යෑමට කටයුතු කරන ලෙසත් රියතුරන්ගෙන් නුවරඑළිය රථවාහන පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.