Spread the love


නිමල් රාජපක්ෂ-

ලොව පුරා පවතින දැඩි ආර්ථික අර්බුදය මෙරට නිෂ්පාදන හා අපනයන කර්මාන්තයන්ට ද දැඩි බලපෑමක් එල්ලවී ඇති බැවින් කර්මාන්ත රැක ගැනීම සඳහා අවශ්‍ය සියලු මැදිහත්වීම් තම අමාත්‍යාංශය මගින් සිදු කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මහනුවර පල්ලෙකැලේ පිහිටි අපනයන සැකසුම් කලාපයේ පැවති ආයෝජක හමුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම ආයෝජන කලාපයේ කර්මාන්ත 24ක් ක්‍රියාත්මකව පවතී. ඒ තුළින් 10,000කට අධික පිරිසකට රැකියා සපයා දී ඇත.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට කෙටි මධ්‍යම හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව පැවසීය. රාජ්‍ය ආයතන සතු නීතිරීති අණපනත් හා රෙගුලාසි පවතින අර්බුද හමුවේ වෙනස් විය යුතු බවත්, මෙය සැබැවින්ම සාමාන්‍ය තත්වයක් නොවන බැවින් නීති හා අණ පනත් ඔවුන්ගේ රාමු වලින් බැහැරව ක්‍රියා කළ යුතු බවද අවධාරණය කළේය. රටතුලට සත්‍ය වශයෙන්ම විදේශ විනිමය ලැබෙන ආයෝජන සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සෘජු විදේශ ආයෝජන ලබා ගැනීම සහ, අපනයන ආදායම ඉහළ නැංවීමටද කටයුතු කරනවා මෙන්ම, විදේශ විනිමය වැය කරමින් මෙරටට ආනයනය කරන නිෂ්පාදන මෙරට දී නිෂ්පාදනය කිරීමට වැඩි අවධානය යොමු කරවන බව පැවසුවාය. පල්ලේකැලේ අපනයන සැකසුම් කලාපයේ දැනට ක්‍රියාත්මක ඖෂධ නිෂ්පාදන අයතනය මගින් මෙරට සේලයින් අවශ්‍යතාවයෙන් 40% මේ වන විටත් සපුරන බවත්, ඒ වෙනුවෙන් මෙතෙක් වියදම් කළ රුපියල් බිලියනය1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවද පැවසුවාය.