Spread the love

ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනය දැයට අභිෂේක කරවන “කව්රසවාහිනී මහා මංගලෝත්සවය“ කොළඹ 07,මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අයුරින්ව ඊයේ (19) පැවැත්විණි.

සම්බුදු සසුනත්,ලාංකේය අභිමානයත් සුපෝෂණය උදෙසා කැප වූ සිංහල කවිය සහ කවියා සුරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීම මෙම සම්මේලනයේ අරමුණයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නාහිමිපාණන් වහන්සේගේ මූලාසනයෙන් ද ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ ලේකම් කිවිපති ශාස්ත්‍රපති නෙළුම්දණ්ඩේ විමලසාර හිමියන්ගේ අනුශාසනාව පරිදි “කව්රසවාහිනී මහා මංගලෝත්සවය“ ආරම්භ කෙරිණි.

කාව්‍යකරණයේ සුවිශේෂි දස්කම් දැක්වූ පියසේන වික්‍රමරත්න,පේමදාස නුගේගොඩ,තිලකා රණේපුර කවි,කිවිඳියෝ “කවි ධජ“ සම්මානයෙන් මෙම උළෙලේ දී පිදුම් ලැබුහ.

උඩරට අමරපුර මහ නිකායේ වැඩබලන මහානායක ධුරන්දර,රාජකීය පණ්ඩිත,මහෝපාධ්‍යාය යාලගමුවේ ධම්මිස්සරාභිධාන නාහිමි, උඩරට අමරපුර මහ නිකායේ අනුනායක ධුරන්දර, මහෝපාධ්‍යාය නිකපොත චන්ද්‍රජෝති නාහිමි, ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ අනුශාසක කිවිපති දමුණුපොළ සුමනසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ සභාපති රටේමුල්ලේ මුදන්නායක කවියා ඇතුළු කවි කිවිඳියෝ, ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද මෙම අවස්ථාවට එක්වුහ.