Spread the love


අපේ රටේ වසරක් තුළ පාසල් පද්ධතියෙන් පමණක් කාබන් පෑන් මිලියන 10.8ක් පරිසරයට එකතු වෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අපේ රටේ අවිදිමත් ලෙස පරිසරයට බැහැර කරන කාබන් පෑන් හා දත් බුරුසු විශාල පාරිසරික ගැටළුවක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් වැඩිම කාබන් පෑන් ප්‍රමාණයක් පරිසරයට මුදා හරින්නේ පාසල් පද්ධතියෙන්. ඊට අමතරව රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා එක් එක් පුද්ගලයින් විසින් භාවිතයෙන් අනතුරුව පරිසරයට මුදා හරින හිස් කාබන් පෑන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් ගණනය කර නැහැ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ අද දින (09) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත් මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-
මේ සම්බන්ධව අවධානය යොමු කරමින් පරිසර අමාත්‍යාංශය විසින් ඉවතලන දත් බුරුසු හා කාබන් පෑන් විදිමත් පරිදි එකතු කිරීම සඳහා විශේෂ බහාළුමක් හඳුන්වා දුන්නා. දැනට රාජ්‍ය ආයතනවලට එවැනි බහාළුම් 3000ක් අපි බෙදා දී තිබෙනවා. ලබන වසර වන විට තවත් එම බහළුම් 8000ක් අපි රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට ලබා දෙනවා. එයින් 4000ක් පාසල් පද්ධතියට ලබා දෙනවා. මේ එක බහාළුමකට කාබන් පෑන් 3000ක්, දත්බුරුසු 500ක් දාන්න පුලුවන්. වසර අවසානයේ මෙම එකතුකරන ලද ද්‍රව්‍ය INSEE සමාගම විසින් විනාශ කිරීමට පියවර ගන්නවා.
අපේ රටේ පාසැල් පද්ධතිය තුළ පමණක් දිනකට කාබන් පෑන් කිලෝග්‍රෑම් 100 – 120ත් අතර ප්‍රමාණයක් බැහැර කරනවා. කිලෝ ග්‍රෑම් එකකට කාබන් පෑන් 300ක් පමණ ඇතුළත් වෙනවා.
ඒ අනුව එක් දිනයක් තුළ පාසැල් පද්ධතියෙන් පරිසරයට එක් වෙන හිස් කාබන් පෑන් ප්‍රමාණය ලක්ෂ 09 කට ආසන්නයි.
ඒ අනුව අපේ පාසල් පද්ධතියෙන් පමණක් වසරකට කාබන් පෑන් මිලියන 10.8ක් පමණ පරිසරයට එක් වෙනවා. මේවා දිරාපත්වීමට විශාල කාලයක් ගත වෙනවා. අපිට ලැබී තිබෙන තොරතුරු අනුව අඩුම තරමින් අවුරුදු 450ක් පමණ කාබන් පෑන් දිරාපත් වීමට කල් ගත වෙනවා. ඉන්පසුව ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුබවට පත්වෙනවා.
අප රටේ දත් බුරුසු භාවිතය සම්බන්ධව තවමත් පිළිගත් තොරතුරු ලැබී නැහැ. නමුත් සමස්ත ලෝකයම ගත් කළ දිනකට බැහැර කරන දත් බුරුසු ප්‍රමාණය බිලියන 23ක් බව සඳහන් වෙනවා.
පරිසර අමාත්‍යාංශය විසින් කාබන් පෑන් හා දත් බුරුසු බැහැර කිරීමේ වැඩ සටහන සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට තීරණය කළා. මෙතෙක් මෙම නීතියක් නොව විනයක් වැඩ පිළිවෙළ අපි ක්‍රියාත්මක කළේ පුද්ගලික අංශයේ මුදල් ප්‍රතිපාදන මතයි. රජයේ මුදල් රුපියලක් වත් අපි වැය කළේ නැහැ.

එමනිසා මෙම බහාළුම් බෙදා හැරීමේ වැඩ සටහන තවදුරටත් පුළුල් කිරීමට අපි පියවර ගන්නාව යැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.