Spread the love

මෙරටට නැව්වලින් බැහැර කරන දැවිතෙල් මාසිකව ටොන් 2000ක් බැගින් වසරකට දැවිතෙල් ටොන් 20.000- 25,000ත් අතර ප්‍රමාණයක් අපහරණය කරනු ලබන බවට තොරතුරු හෙලිවෙයි.
දැවිතෙල් අපහරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පුද්ගලයින් හා ආයතන 27කට බලපත් ලබා දී ඇතත් දැවිතෙල් පිරිපහදු පහසුකම් තිබෙන්නේ ඉන් ආයතන 04කට පමණි. වාර්ෂිකව එම ආයතනවලට ද පිරිපහදු කළ හැකි දැවිතෙල් ප්‍රමාණය ටොන් 4800ක් පමණක් බව ද විමර්ශණ නිලධාරිහු පෙන්වා දෙයි..
එසේ නම් ඉතිරි ටොන් 15,200ට සිදුවන්නේ කුමක්දැයි විමසූ පරිසර ඇමති මහින්ද අමරවිර මහතා පිරිපහදු පහසුකම් නොමැති පුද්ගලයින් විසින් ලබා ගන්නා දැවිතෙල් රාත්‍රිකාලයේ බවුසර් මගින් ගෙන ගොස් ගංගා අසළට හෝ අළදොළවලට හළන බවට තමන්ට තොරතුරු ඇතැයි අවධාරණය කළේය.

ඉන්පෙර ඔවුන් විසින් ඒවා බවුසර් හෝ ටැංකිවල රඳවා තබා ගන්නා අතර පතුළේ ඉතිරි වන ජලය Sludge Water කිසිදු පිරිපහදුවකින් තොරව පරිසරයට මුදාහරිනු ලබයි. මේවා ඉතාමත් විෂ සහිත බැර ලෝහ අඩංගු ඒවා වේ.වෙන් කර ගන්නා තෙල් විවිධ කටයුතු සඳහා විවිධ පුද්ගලයින්ට අලෙවි කරනු ලබයි.
මෙහි ඇති බරපතලම අනෙක් කාරණය නම් අප රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ නිසා අහිමිවීමයි. ලොව අනෙක් රටවල් ද තම වරායට එන නැව්වල ඇති දැවිතෙල් බාරගැනීම සාමාන්‍ය නීතියකි. එහෙත් ඒ සදහා අදාල නැව් මගින් එම රටට ඩොලර්වලින් ගෙවීමක් කරනු ලබයි. නමුත් අපේ රටේ දැවිතෙල් ජාවාරම්කරුවන් පිරිසක් විසින් රට තුළ ඇති ඩොලර් වලින් නැව්වලට ගෙවා මෙම දැවිතෙල් බෑම සිදුකරයි.දැවිතෙල් නැමැති කුණු ගොඩ මුදල් ගෙවා රට තුළට බාර ගන්නා එකම රට ශ්‍රී ලංකාව යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය