Spread the love


නිමල් රාජපක්ෂ-

කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී පැවැති කෘෂිකර්මය පිළිබඳ උපදේශක කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ කරුණු සළකා බලමින් , ඒ අනුව වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ගොවිජන සංවර්ධ දෙපාර්තුමේන්තුවට මහින්ද අමරවීර මහතා උපදෙස් දි ඇත.

නමුත් මෙම තහනම සෝජාන් ක්‍රමය වැනි වගා කටයුතු සඳහා අදාල නොවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉදි කිරීම් සදහා විශාල වශයෙන් කුඹුරු ඉඩම් ගොඩ කෙරෙමින් පවතින බවත්, ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් සහයෝගය පළ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය.

එම කරුණු සළකා බලමින් කුඹුරු ගොඩ කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කර එම වාර්තාව ලබා ගන්නා තෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.