Spread the love


කෘෂිකර්මාන්තයට අදාල තීන්දු තීරණ ගන්නා විට අපේ රටේ ගොවි ජනතාව ගැන උපරිම විශ්වාසය තබා කටයුතු කරන්නැයි මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවසුහ.
ඊයේ (25) පෙරවරුවේ කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මාහිමියෝ බැහැ දැකීමට උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය වෙත ගියේය.
මල්වතු මහනායකහිමියන් සමග විනාඩි 45ක් පමණ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කළේය.
අපේ රටේ දැනට පවතින ආහාර මිල ගණන් ඉහළ යාම සහ ආහාර හිඟය සම්බන්ධව මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතින කැළඹිලි සහිත බව පිළීබඳව ද උන්වහන්සේ අමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ.
එමෙන්ම අදහස් පළ කළ උන්වහන්සේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී අපේ රටේ ගොවිජනතාව පිළිබඳව උපරිම විශ්වාසය තබා එම තීන්දු තීරණ ගන්නැයි අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.
නායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡාවෙන් පසු එහි සිටි මාධ්‍යවේදීහු විසින් අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියහ.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මල්වතු මහා නාහිමියන් ප්‍රකාශ කළ පරිදිම තමන් දේශීය ගොවියා කෙරෙහි උපරිම විශ්වාසය තබා කටයුතු කරන බවත්, කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා තීන්දු තීරණ ගැනීමේදී නිලධාරීන්ගේ අදහස් හා යෝජනා විමසුව ද, ඒ පිළිබඳ අවසන් තීන්දුව ගනු ලබන්නේ මහපොළව සමඟ කටයුතු කරන ගොවිජනතාව නමැති විශේෂඥයින්ගේ උපදෙස් අනුව යැයි කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එළඹෙන මහ කන්නය සාර්ථක වගා කන්නයක් බවට පත්කර ගැනීම සඳහා රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත්, මෙවර මහ කන්නයේදී වී, බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යූරියා පොහොර මෙන්ම MOP පොහොර ද ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් කළේය. රටට අවශ්‍ය සම්පූර්ණ සහල් ප්‍රමාණය රට තුළ ම නිපදවීම රජයේ ඉළක්කය බවත්, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප රටේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා වැදගත් තීන්දු තීරණ රැසක් ඉදිරියේ දී
ගැනීමට යෝජිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය.