Spread the love

ශ්‍රී ලංකාවේ කාෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතායතනවල නිත්‍ය නියෝජිත, තානාපතිනි සින්ඩි මැකේන් මහත්මිය පවසයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතායතනවල නිත්‍ය තානාපතිනි සින්ඩි මැකේන් මහත්මිය (Ambassador Cindy Hensley McCain-U.S. permanent Representative to UN Agencies) හා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් මහත්මිය අද දින (26) කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවිය.

මෙම හමුවීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු වූ අතර එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරින් මෙන්ම ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයෝ රැසක් ද සහභාගි වූහ.

මෙහිදී සින්ඩි මැකේන් මහත්මිය ශ්‍රී ලංකාවේ වර්තමානයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින තත්ත්වයන් පිළිබඳව කරුණු විමසුවාය.

ඒ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග උද්ගත වූ ආර්ථිකයේ පසුබැස්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පසුබෑමට මහත් බලපෑමක් එල්ල කර ඇතැයි ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙහිදී රසායනික පොහොර සැපයීම හා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යෙදවුම්වල පවතින තත්ත්වයන් පීළිබඳව අමාත්‍යාංශයේ නිලධාරිහු කරුණු පැහැදිළි කළ අතර ඇතැම් බෝගවර්ගවලට අවශ්‍ය බීජ හිඟය හා ආනයනික හයිබ්‍රිඩ් බීජ මිල ගණන් ඉහළ යාමද, සත්ව ආහාර වශයෙන් ගනු ලබන ද්‍රව්‍යවල මිල ගණන් ලෝක වෙළෙඳ පොලේ ඉහළ යාම ද ඒ නිසා උද්ගතව පවතින තත්ත්වයන් පිළිබඳව පැහැදිළි කළේය.

මෙහිදී අදහස් පළ කළ සින්ඩි මැකේන් මහත්මිය ශ්‍රී ලංකාවේ කාෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ඇය සිය රටට ගිය පසු අදාල සියලු අංශ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්, එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි අංශ සංවර්ධනය සඳහා ලබා දිය හැකි සියලුම සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා යුරෝපා රටවලින් මෙරටට පැමිණිම පවා නතර කර තිබු අවස්ථාවන් මින් පෙර පැවැති බවත් නමුත් වර්තමානයේ දී ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම යුරෝපයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට යළි නැගිටීම සඳහා උදව් පදව් ලබා දීම සම්බන්ධව කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.